LPL කණ්ඩායමක හිමිකාරිත්වය සුපිරි ඉන්දීය නළුවෙකුට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

1951
Salman Khan

ලබන මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මහනුවර Tuskers කණ්ඩායමේ හිමිකාරිත්වය ගැනීම සඳහා බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ඇතුළු ඔහුගේ පවුල ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වේ.

එම තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් ඒ ඒ කණ්ඩායම්වලට තෝරාගැනීම වෙනුවෙන් පැවති ක්‍රීඩක වර්ගීකරණය (player draft) පසුගිය 19 වැනිදා අන්තර්ජාල වීඩියෝ දුරකථන සංවාදයක් හරහා ක්‍රියාත්මක වූ අතර එහි දී එම කණ්ඩායම් 5 නාමයන් නිල වශයෙන් දැන ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකි විය. එම කණ්ඩායම් 5 ගාල්ල Gladiators, දඹුල්ල Hawks, කොළඹ Kings, මහනුවර Tuskers සහ යාපනය Stallions ලෙස නම් කර තිබුණි.

තවත් ක්‍රිකට් පුවත්

ගාල්ල Gladiators කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ කවුරුන්ද යන වග ක්‍රීඩක වර්ගීකරණය පැවැත්වුණු පසුගිය 19 වැනිදා වන විට තහවුරුව තිබූ නමුත්, අනෙක් කණ්ඩායම් හතරෙහි හිමිකාරිත්වය දරනු ලබන පාර්ශවයන් කවුරුන්ද යන වග නිල වශයෙන් ප්‍රසිද්ධ කර නොමැත. 

කෙසේ නමුත් මේ වන විට මහනුවර කණ්ඩායමේ ද ප්‍රධාන හිමිකාරිත්වය දරන්නේ කවුරුන්ද යන වග වාර්තා වී තිබෙන නමුත් කොළඹ, යාපනය සහ දඹුල්ල යන කණ්ඩායම්වල හිමිකාරිත්වය දරන්නේ කවුරුන්ද යන වග නිල වශයෙන් ප්‍රකාශ වී නොමැත.

“ක්‍රිස් ගේල් කියන්නේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඒ වගේම කුසල් පෙරේරා, ප්ලන්කට්, වහබ් රියාස් මේ වගේ දක්ෂ ක්‍රීඩකයින් රැසක් ඉන්නවා මහනුවර Tuskers කණ්ඩායමේ. ඒ වගේම කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප් වගේ ක්‍රීඩකයිනුත් මහනුවර කණ්ඩායමේ ඉන්න නිසා අපි හිතුවා මේ කණ්ඩායමේ නිල හිමිකාරිත්වය ගන්න” යැයි ඛාන් පවුලේ සාමාජික සොහෙයිල් ඛාන් Times of India වෙත පවසා තිබේ.

මහනුවර Tuskers ක්‍රීඩක සංචිතය:

  • Local Icon – කුසල් ජනිත්.
  • Marquee – ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්.
  • Gold Overseas – වහබ් රියාස්.
  • Gold Local – කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න.
  • Classic Overseas –  නවීන්උල් හක්.
  • Classic Local – කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා.
  • Emerging Local – කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය.
  • Supplementary Local – ලහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමිකර එදිරිසිංහ, ඉශාන් ජයරත්න
  • ප්‍රධාන පුහුණුකාරු – හෂාන් තිලකරත්න

නොවැම්බර් මස 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ‘ලංකන් ප්‍රිමියර් ලීග්’ තරගාවලිය (LPL) නොවැම්බර් මස 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු වූයේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව තරග කාලසටහනට අනුව තරගාවලිය නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලියේ තරග හම්බන්තොට, දඹුල්ල සහ පල්ලෙකැලේ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල දී පැවැත්වීම සඳහා මුලින් තීරණය වී තිබූ නමුත් ක්‍රීඩකයින්ගේ Bio Bubbles විටින් විට මාරු කිරීමේ දී තිබෙන ගැටලු නිසාවෙන් දඹුල්ල ක්‍රීඩා පිටිය තරග කාලසටහනෙන් ඉවත් කිරීම සඳහා තීරණය කර ඇත.

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදු වනු ඇත්තේ නව කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් වුවත් එය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්වල පමණක් නොව රූපවාහිනි විකාශන, නිෂ්පාදන සහ ක්‍රීඩාංගණ යන අංශ සියල්ලේ සම්පූර්ණ අයිතිය වසර 5ක කාලසීමාවක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති සමාගමක් වන Innovative Production සමූහය (IPG) සතු වේ.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම වසර (2020) අවසන් වීමට පෙර ක්‍රීඩා කිරීමට නියමිතව සිටි අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය වූ බංග්ලාදේශ කණ්ඩායමේ මෙරට තරග සංචාරය ද නොපැවැත්වෙන නිසා මෙම වසර තුළ දී ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග කිසිවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවනු ඇත.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<