කළුතර නගර කණ්ඩායමට කඩුලු 8ක ජයක්

226
SLC Premier League 2016/17 tier B

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පසුගිය 16වන දා ආරම්භ වූ කළුතර නගර සමාජ කණ්ඩායම හා කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම අතර තරඟය අද (18) අවසන් වූ අතර එම තරඟයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කළුතර නගර සමාජ කණ්ඩායම සමත් විය.

ශනුක දිසානායක වරායට වසන්තය රැගෙන එයි

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තෙවන සතියේ තරඟ කිහිපයක්ම පසුගිය දා (15) ආරම්භ වූ අතර, තවත් තරඟයක් ඊයේ (16) ආරම්භ විය.

මෙම තරඟය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල කළුතර නගර සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

කඩුලු 3ක් දැවී ලකුණු 258ක් ලබා සිටියදී කළුතර නගර සමාජය අද දිනය සඳහා තම ඉණිම ආරම්භ කල අතර රිසිත් උපමාල්ගේ විශිෂ්ට ඉණිම උදෑසනම අවසන් කිරීමට ලක්ෂාන් සෝමවීර සමත් විය. ඒ වන විට රිසිත් උපමාල් ලකුණු 130ක් ලබාගෙන සිටින ලදි. අනතුරුව පිටියට පැමිණි නායක ලහිරු ජයවර්ධන 4 පහර 4ක් සමඟින් නායකත්වයේ ඉණිමක් දියත් කරන ලදි. ඔහුගේ ඉණිම ලකුණු 47කට අවසන් විය. එම ඉණිමේ දී සඳමාල් ජයවික්‍රම ලකුණු 64කට කඩුලු 3ක් දවාගන්නා ලදි. අවසානයේ කළුතර නගර සමාජ කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 414කට අවසන් විය.

ලකුණු 182ක අවාසියක් ද සහිතව තම දෙවන ඉණිම ආරම්භ කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය වෙනුවෙන් පුබුදු තාරක 4 පහර 9ක් හා දැවැන්ත 6 පහර 2ක් සමඟින් ලකුණු 76ක් ලබාගෙන ඉණිමක පරාජයෙන් තම කණ්ඩායම මුදවාගත් අතර, රුවන්ත ඒකනායක 4 පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා ගන්නා ලදි. සවස් කාලය තුල ක්‍රියාත්මක වූ ප්‍රදීප් කුමාර ලකුණු 64ක් තුල කඩුලු 3ක් දවාගන්නා ලදි.

ලකුණු 32ක් පමණක් ජයග්‍රහණය ලබා ගැනීමට ඉතිරිව තබමින් කළුතර කණ්ඩායම කුරුණෑගල කණ්ඩායමේ පිතිකරණය මෙල්ල කල අතර එම ලකුණු 32ක ඉලක්කය පන්දුවාර 9ක් තුල හඹායමින් තම ජයග්‍රහණය සනිටුහන් කරගන්නා ලදි.

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – 232/10 (70.2): රුවන්ත ඒකනායක 111, හශාන් ප්‍රභාත් 50, තරිදු සිරිවර්ධන 3/20, කල්හාර කොටවසිංහ 3/64

කළුතර නගර සමාජය පළමු ඉණිම  – 414/09 dec (105.2): රිසිත් උපමාල් 130, ගීත් පෙරේරා 57, ලහිරු ජයවර්ධන 47, නිපුන ගමගේ 34, තරිදු සිරිවර්ධන 29, සඳමාල් ජයවික්‍රම 3/64

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම දෙවන ඉණිම – 213/10 (51): පුබුදු තාරක 76, රැවන්ත ඒකනායක 41, හශාන් ප්‍රභාත් 35, ප්‍රදීප් කුමාර 3/42

කළුතර නගර සමාජ කණ්ඩායම දෙවන ඉණිම – 34/02 (09): තරිදු සිරිවර්ධන 17*, තිලිණ හේරත් 1/14

කළුතර නගර සමාජ කණ්ඩායම කුරුණෑගල තරුණ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් පසුවෙයි.

මෙම තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරඟ කිහිපයක්ම ලබන 21වන දා සිට 23වන දා දක්වා පහත පරිදි පැවැත්වීමට නියමිතව ඇත.

  • කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරඟය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී,
  • පොලිස් ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය හම්බන්තොට සූරියවැව ක්‍රීඩා පිටියේදී,
  • නාවික හමුදා ක්‍රීඩා සමාජය හා පානදුර ක්‍රීඩා සමාජය අතර තරඟය වැලිසර නාවික හමුදා පිටියේදී,
  • ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රිකට් සමාජය හා කළුතර භෞතික සංස්කෘතික ක්‍රිකට් සමාජය අතර තරඟය මත්තේගොඩ යුධ හමුදා පිටියේදී.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට