“ඉන්දියාවට පාකිස්තානය සමඟ ගැටෙන්න අත්දැකීම් මදි”

Asia Cup 2023

2677

2023 ආසියානු කුසලානයේ වැඩිම අවධානයක් යොමු වී ඇති තරගය සැප්තැම්බර් 02 වැනිදා ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි ඇත්තේ කා හට ද සහ කණ්ඩායම් ද්විත්වයේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා සංසන්දනය කිරීම් මේ දිනවල දී වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙන අතර, එම තර්ක කිරීම් අතරට හිටපු පාකිස්තාන නායක Salman Butt ද එක් වී තිබෙනවා.

Butt විසින් සඳහන් කරන ආකාරයට නම් මෙම තරගයේ වැඩි වාසි පාකිස්තානය සතු වනවා. විශේෂයෙන්ම ඉන්දීය කණ්ඩායමේ එතරම් ශක්තිමත් බවක් පෙනෙන්නට නොමැති බවයි ඔහු සිය YouTube නාලිකාව හරහා සඳහන් කර තිබුණේ.

“අපි ඉන්දීය පන්දු යැවීම ගැන බලද්දී, ඔවුන්ගේ ශරීර යෝග්‍යතාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ක්‍රීඩකයින් කාලයක් තිස්සේ ම නිසි යෝග්‍යතාවයේ හිටියේ නැහැ. අපි දන්නේ නැහැ ඔවුන් සම්පූර්ණයෙන්ම සුව වෙලා ද කියලා. Virat Kohli සහ Rohit Sharma හැරුණු කොට ඔවුන්ට ඉන්නේ තරුණ ක්‍රීඩකයින්. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා තමයි, නමුත් ඔවුන්ට එතරම් අත්දැකීම් නැහැ.

ඉන්දියාව තරග ජයග්‍රහණය කළේ Rohit Sharma හොඳින් ක්‍රීඩා කළ විටක හෝ Virat Kohli විසින් විශේෂ යමක් සිදු කළ විට පමණයි.

වගකීම අනෙක් අය මත පැටවෙන විට ඔවුන් බොහෝ අපහසුතාවට පත් වෙනවා.”

Rohit හෝ Kohli හැරෙන්නට ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හොඳ අත්දැකීම් ඇති තරග දිනවන්නෙකු නොමැති වීම විශාල පාඩුවක් වනු ඇති බවයි Butt විසින් සඳහන් කරන්නේ. එමෙන්ම පාකිස්තානය සතු වේගපන්දු බළඇණිය තරම් ශක්තිමත් පන්දු යැවීමේ බළඇණියක් ද ඉන්දියාව සතු නොවන බව ඔහු විසින් මෙහි දී සඳහන් කරනවා.

“පාකිස්තානයට Babar, Rizwan, Fakhar, Shadab, Shaheen, Haris Rauf ඉන්නවා.

ඉන්දියාවටත් Jadeja, Shami, Bumrah, Rohit සහ Virat වැනි තරග දිනවන්නන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ පිතිකරණය බිඳෙන සුළුයි.

පාකිස්තානය විසින් ලොකු කඩුලු දෙක (Kohli සහ Rohit) දවා ගත්තෝතින් අනිත් අයට ඔප්පු කරලා පෙන්වන්න ගොඩක් දේවල් තියේවී. ඔවුන් පාකිස්තානයට එරෙහිව තරග දිනවන්න හෝ ඔවුන්ගේ අනෙක් තරග දිනවන්න උදව් කරලා නැහැ.

අපිට පැයට සැතපුම් 90ක වේගයෙන් පන්දු යැවිය හැකි පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ගේ පැයට සැතපුම් 90 පසු කරන්න පුළුවන් එක්කෙනයි දෙන්නයි ඉන්නේ. අනිත් අයට ඒ තරම් වේගයක් නැහැ. අපිට දඟපන්දු යවන්නන් ද දෙවර්ගය ම ඉන්නවා.”

Butt විසින් කණ්ඩායම් දෙක අතර සිදු කරන මෙම සංසන්දනය කෙතරම් දුරට යථාර්ථවාදී ද යන්න එළඹෙන සෙනසුරාදා දිනයේ දී දැක බලා ගත හැකි වනු ඇත. කෙසේ වෙතත් Butt විසින් ඉහත සංසන්දනයන්ට අමතරව විශේෂයෙන්ම සඳහන් කළ කරුණක් වුනේ ඉන්දීය ක්‍රීඩකයින් කෙතරම් IPL තරග ක්‍රීඩා කර අත්දැකීම් ලබා ගත්ත ද එය ඉන්දු – පාකිස්තාන තරගයක එල්ල වන පීඩනයට මුහුණ දීමට තරම් නොවන බවයි.

“ඉන්දියාව පැත්තෙන් ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ඒ නිසාම පීඩනය වැඩියි. ඒ වගේම කුමන හේතුවක් නිසා හෝ ඉන්දියාව පාකිස්තානය සමඟ දිගු කලක් තිස්සේ ක්‍රීඩා කරලා නැහැ.

ඔවුන්ගේ ක්‍රීඩකයින් කොපමණ IPL තරග ක්‍රීඩා කරලා තිබුනත්, මෙවැනි අධි බලැති ගැටුමක අත්දැකීම ඔවුන්ට නැහැ.

ඔබ IPLහි කොපමණ ක්‍රීඩා කළත් එය ඉන්දු – පාකිස්තාන තරගයක් අතරතුර එන පීඩනය ගෙන එන්නේ නැහැ.”

Salman Butt විසින් පවසන අයුරින් මෙම අසීමිත පීඩනය නිසා ඉන්දීය කණ්ඩායමට එළඹෙන තරගය ඉතා අසීරු එකක් වනු ඇති. කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශ වලට නුදුරේ දී ම ඉන්දීය පාර්ශවයෙන් ද පිළිතුරු ලැබෙතැයි බලාපොරොත්තු විය හැකි.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

NDTV Sports ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<