බංග්ලාදේශය සහ Shakib ගැන ශානක සිය අත්දැකීම් හෙළිදරව් කරයි

Asia Cup 2023

6843
Dasun Shanaka speaks about rival bangladesh

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු ක්‍රිකට් තරග තරමක් උණුසුම් ස්වභාවයක් ගත් අතර, එය ක්‍රීඩා පිටිය තුල මෙන්ම ඉන් පිටත ප්‍රේක්ෂකයින් තුලින් ද දකින්නට ලැබුණු කාරණයක්. 

අද (31) දිනයේ දී 2023 ආසියානු කුසලානය යටතේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් ගැටුමත් ඉහත සඳහන් කල වාතාවරණය යටතේ ම ආරම්භ වනු ඇති බව මේ තරගය වෙනුවෙන් දෙරටේ ම ප්‍රේක්ෂකයින්ට ඇති උද්‍යෝගයෙන් පැහැදිලි වන කාරණයක්. 

කෙසේ වෙතත් අද පැවැත්වීමට නියමිත තරගයට පෙර පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් සඳහන් කර තිබුණේ පිටත වාතාවරණය කෙසේ වුවත් කණ්ඩායම් ද්විත්වය අතර හොඳ සබඳතාවක් පවතින බවයි. 

“කණ්ඩායම් අතර හොඳ සබඳතාවක් තියෙනවා. අපිට පිටතින් එන ඝෝෂාව පාලනය කරන්න බැහැ. ඒක හොඳ සහෝදර බැඳීමක්. අපි අතර ඒ ගෞරවය තියෙනවා.” 

එමෙන්ම ඔහු විසින් මෙහි දී බංග්ලාදේශ ක්‍රීඩකයින් සමඟ නිමා වූ LPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට ලද අවස්ථාව සහ එහි දී ඔහුගේ Galle Titans කණ්ඩායම් සාමාජිකයා වූ Shakib Al Hasan සමඟ ලද අත්දැකීම පිළිබඳව ද විශේෂයෙන් අදහස් පළ කළා. 

“Shakib සමඟ LPL තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට හැකි වීම වාසියක්. බංග්ලාදේශ ක්‍රීඩකයින් සමහර අවස්ථාවල දී තීරණ ගන්න ආකාරය ටිකක් ඉක්මන්.” 

නමුත් Shakib සමඟ එකම කණ්ඩායමේ ක්‍රීඩා කළත් ඔහුගේ චරිත ස්වභාවය නිසා ඔහු පිළිබඳ වැඩි යමක් ඉගෙන ගැනීමට නොහැකි වූ බවත් ශානක විසින් මෙහි දී සඳහන් කර තිබුණා. 

“මට ගොඩක් දේවල් ඉගෙන ගන්න බැරි වුනා, මොකද ඔහු ගොඩක් කතා කරන කෙනෙක් නෙවෙයි. 

අපි එකම කණ්ඩායමකට ක්‍රීඩා කලත්, අපි ගොඩක් දේවල් බෙදා ගත්තේ නැහැ. ආසියානු කුසලානය ළඟ එන නිසා ඔබේ සැලසුම් පිටට නොදෙන තරමට හොඳයි.” 

මීට අමතරව දසුන් විසින් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දී ඇති විශාලතම ගැටලුව වන ක්‍රීඩක ආබාධ සම්බන්ධයෙන් ද මෙසේ අදහස් පළ කළා. 

අපිට ආබාධ ඇති වීම නතර කරන්න බැහැ. අවාසනාවකට ඒක අපේ කණ්ඩායමට නොනවත්වාම සිදු වෙන දෙයක්. මම හිතන්නේ නැහැ අපි පුහුණු වෙන ආකාරයේ හෝ අපි දරන උත්සාහයන් වල වරදක් තියෙනවා කියලා. 

නමුත් අපි පීඩනය යටතේ හොඳින් ක්‍රීඩා කරනවා කියලයි මම හිතන්නේ. විශේෂයෙන්ම පිතිකරණ අංශයෙන් අපිට ඒ දේ කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. අපිට අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ඉන්නවා. 

ඒ පීඩනය නොතකා අපිට බොහෝ දුර යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.” 

ආබාධවලින් කෙතරම් බාධාවක් සහ පීඩනයක් එල්ල වුව ද තම කණ්ඩායම උපරිම සාර්ථක ලෙස ක්‍රීඩා කරන බවයි දසුන් විසින් සඳහන් කරන්නේ. 

අද පැවැත්වීමට නියමිත තරගය අතරතුර දී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඇති උණුසුම් සටන මෙන්ම, ආබාධ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කෙතරම් විශාල බලපෑමක් එල්ල වී ඇති ද යන්නත් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනු ඇති. 

2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<