RR යොවුන් ක්‍රීඩකයින්ට සංගක්කාරගෙන් පැසසුම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1250

2022 IPL තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින කිහිපයක් පමණයි. Rajasthan Royals එළඹෙන මාර්තු 29 වැනිදා Sunrisers Hyderabad සමඟින් මෙවර තරගාවලිය ආරම්භ කරන්නට නියමිතව තිබෙනවා.

මෙවර Rajasthan Royals කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.

Royals කණ්ඩායමට නිමා වූ ක්‍රීඩක වෙන්දේසිය ඉතා හොඳ වෙන්දේසියක් වුනා. ඔවුන් Devdutt Padikkal, Shimron Hetmyer, Rassie van der Dussen සහ Daryl Mitchell වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මිල දී ගත්තේ කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව සවිමත් කරමිනුයි. Red Bull Cricket වෙත අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේ Devdutt Padikkal පා ඉන්න දෙසින් එල්ල කරන පහරවල් ඉතා අලංකාර බවයි.

“Devdutt Padikkal පා ඉන්න දෙසින් එල්ල කරන පහරවල්, ඔහුගේ flick පහරවල් සහ ඔහු වේගපන්දුවට එරෙහිව දක්වන දක්ෂතා අනර්ඝයි.”

“Jaiswalගේ පහරවල්වල සවිය සහ ඔහුගේ උනන්දුව, Hetmyerට හයේ පහරවල් එල්ල කරන තියෙන හැකියාව, Paragට හයේ පහරවල් එල්ල කරන්නට තිබෙන හැකියාව විශේෂයි.”

“මම පසුගිය තරගවාර දෙකේ දී Devdutt Padikkalව හොඳින් නිරීක්ෂණය කළා. ඔහු සර්වසම්පූර්ණ ක්‍රීඩකයෙක්. මට ඔහුට කියන්න ඕනේ ඔහු කොච්චර කණ්ඩායමට වැදගත් ද කියලා”, සංගක්කාර පවසා තිබුණා.

තවදුරටත් අදහස් දක්වමින් සංගක්කාර පවසා සිටියේ Sanju Samson ලොව සිටින හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයෙකු බවයි. Samson මෙවරත් Rajasthan Royals කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා.

“කණ්ඩායම නායකයා කියන එක සහ ඔහු Rajasthan Royals කණ්ඩායමේ අනාගතය කියන එක පැත්තකින් තිබ්බම ඔහු ලොව හොඳම විස්සයි විස්ස ක්‍රීඩකයෙකු බව කියන්න පුළුවන්.”

“ඔහු විශිෂ්ට, විනාශකාරී, තරග දිනවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. පිතිකරුවෙක්ට අවශ්‍ය සියලු දක්ෂතා ඔහු ගාව තිබෙනවා. මම ඔහුව හොඳින් හඳුනනවා. මම ඔහුව අගය කරනවා. ඔහුට ස්වාභාවික නායකත්ව ලක්ෂණ තිබෙනවා. ඔහු දිනෙන් දින හොඳ වෙයි.”

2021 IPL තරගාවලියේ දී Samson ලකුණු 484ක් රැස් කළේ තරග 14කට පමණක් ක්‍රීඩා කරමිනුයි. ඔහුගේ සාමාන්‍යය 40.33ක් ලෙසත්, ප්‍රහාරක වේගය 136.72ක් ලෙසත් දැක්වුනා.

“ඔහු සාමාන්‍ය කෙනෙක්. වචන කිහිපයයි කතා කරන්නේ. ඔහු තමා මේ තනතුරට හරි යන්නේ. ඒ නිසාම ඔහුත් සමඟ වැඩ කිරීම පහසුයි සහ විනෝදයි. ඔහුට ලොකු අභිමානයක් තිබෙනවා. ඔහුට ජයග්‍රහණය කරන්නට අවශ්‍යයි. මට කරන්න පුළුවන් දේ තමයි ඔහුට සහාය ලබා දෙන එක”, සංගක්කාර පවසා සිටියා.

IPL තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<