සිංගප්පූරු තුන් ඉරියව් ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවට

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය 2022

838

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම නිල වශයෙන් නම් කර තිබෙනවා.

මෙම සංචිතය සඳහා සිංගප්පූරු කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Tim David ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

2021 ලෝක කුසලානයට ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සිදු වූ එකම වෙනස Tim Davidගේ පැමිණීම වන අතර ඔහු සඳහා කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ Mitchell Swepson හටයි.

මේ වන විට 26 වැනි වියේ පසුවන Tim David විස්සයි විස්ස ලීග් තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන අතර ඔහු තරග අවසන් පන්දුවාරයන් හී ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසින් දස්කම් දක්වා තිබෙනවා.

එමෙන්ම වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින් මෙන්ම මෙවර ලෝක කුසලානය ද ජයග්‍රහණය කිරීමට වැඩි අවස්ථාවක් තිබෙන ඕස්ට්‍රේලියා කණ්ඩායමට එක් වීමට ලැබීම ඔහුට ලැබුණ භාග්‍යයක්.

Tim David කණ්ඩායමට එක් වීම පිළිබඳව සිය අදහස් දැක්වූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී George Bailey ප්‍රකාශ කළේ,

“Tim David ලොව පුරා පැවැත්වෙන ලීග් තරගාවලිවල ඉහළ දස්කම් දැක්වීම නිසා සංචිතයට එක් වීමට ඔහුට හැකි වුනා. ඔහු ඇත්තෙන්ම සහජ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති මෙම කණ්ඩායමට අමතර පිතිකරණ ශක්තියක් එක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අපි බලාපොරොත්තු වෙනවා ඔහු පෙර ක්‍රීඩා කළ ස්ථානයේම ඔහුව ක්‍රීඩා කරන්න.”

ඕස්ට්‍රේලියා කණ්ඩායම ලෝක කුසලානයේ පළමු තරගයට ඔක්තෝබර් 22 වැනිදා නවසීලන්තය සමඟින් සහභාගී වීමට නියමිතයි.

2021 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මෙම කණ්ඩායම් ද්විත්වය මුණ ගැසුණු අතර Mitch Marsh ලබා ගත් ලකුණු 77 නිසා කඩුලු 8ක ජයක් හිමි වුනේ ඕස්ට්‍රේලියාවටයි.

එම තරගය ජයග්‍රහණය කරමින් ඕස්ට්‍රේලියාවට මංගල විස්සයි විස්ස කිරුළ ගෙන දීමට දායකත්වය දැක්වූ Mitch Marsh මේ වන විට ආබාධයකින් පසුවන නමුත් ඔහු ලෝක කුසලානයට පෙර ආරම්භ වන ඉන්දීය තරගාවලියේ දී නැවතත් කණ්ඩායමට එක් වීමේ අපේක්ෂාවෙන් පසු වනවා.

විස්සයි විස්ස තරග තුනකින් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා ලෝක කුසලානයට නම් කළ සංචිතයට ඇතුළත් David Warner හැර අනෙකුත් සියලු ක්‍රීඩකයින් සහභාගී වීමට නියමිතයි.

David Warner ඕස්ට්‍රේලියාව තුළ රැඳෙමින් ලෝක කුසලානයට සූදානම් වීමට තීරණය කර ඇති අතර ඔහුගෙන් හිස්වන ආරම්භක පිතිකරු ස්ථානය සඳහා Cameron Green ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා නම් කළ ඕස්ට්‍රේලියා සංචිතය: Aaron Finch (C), Pat Cummins (VC), Ashton Agar, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<