ශ්‍රී ලංකා නායක තේෂාන්ගෙන් දක්ෂ ගෝලයක්

SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලිය

279

ඉන්දියාවේ Bhubaneswar හිදි පැවති SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වූ අවසන් තරගය අද (31) මාලදිවයින හමුවේ පැවති අතර එය ගෝල 1-1ක් ලෙස සමව නිමාවට පත් වුනා.

අද තරගය ආරම්භ වීමෙන් අනතුරුව දෙපිලේම ක්‍රීඩකයින් කරට කර ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර පළමු අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව 74 වැනි මිනිත්තුවේ දී මාලදිවයින් ක්‍රීඩක Aiham Hamdoon විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අභිබවා යමින් පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.

ඉන් අනතුරුව දෙවැනි අර්ධය අවසානය වන තෙක් ලකුණු පුවරුව නොවෙනස්ව පැවතුනත්, ආබාධ සඳහා වෙන්වූ අතිරේක කාලයේ දී ශ්‍රී ලංකාවට නිදහස් පහරක් ලැබුණු අතර සාර්ථකව පන්දුව ලබා ගත් ශ්‍රී ලංකා නායක තේෂාන් තුශ්මික විසින් දක්ෂ ලෙස හිසෙන් පන්දුව ගෝලය තුලට යොමු කළේ තරගාවලියේ ශ්‍රී ලංකාව ලබා ගත් පළමු සහ එකම ගෝලයේ හිමිකරුවා වෙමිනුයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 1 – 1 මාලදිවයින

ගෝල ලාභීන්:

  • ශ්‍රී ලංකාව – තේෂාන් තුශ්මික (90+5’)
  • මාලදිවයින – Aiham Hamdoon (74’)

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී තරග 4කට සහභාගී වූ අතර පළමු තරගයේ දී බංග්ලාදේශ හමුවේ ගෝල 1-0ක් ලෙසත්, දෙවැනි තරගයේ දී නේපාලය හමුවේ ගෝල 3-0ක් ලෙසත් සහ තෙවැනි තරගයේ දී ඉන්දියාව හමුවේ ගෝල 4-0ක් ලෙසත් පරාජය වුනා.

තරගාවලිය පුරාවට ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රතිවාදීන් විසින් ගෝල 9ක් වාර්තා කර තිබුණු නමුත් ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් ප්‍රගතිශීලී දක්ෂතා තරගාවලිය පුරාවටම දක්නට ලැබුණා. එහි දී කණ්ඩායම් නායක තේෂාන්ගේ දක්ෂතා වඩාත් කැපී පෙනුණා.

පාපන්දු ලොව උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<