මුෆාස්ගේ ගෝලයෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය 2022

287

ශ්‍රී ලංකා 17න් පහළ පාපන්දු කණ්ඩායම සහ මාලදිවයින් 17න් පහළ පාපන්දු කණ්ඩායම අතර අද (09) පැවති, SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයේ, තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා යෞවනයින් සමත් වුනා.

ශ්‍රී ලංකාවේ අනුග්‍රහය ඇතිව කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින A කාණ්ඩයෙන් තරග කරනු ලබනවා.

පළමු තරගයේ දී ‌ගෝල 5-1ක් ලෙස බංග්ලාදේශ හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූ අතර මාලදිවයින ද ගෝල 5-0ක් ලෙස ‍බංග්ලාදේශය හමුවේ පරාජය වෙමින් තරගය සඳහා අවතීර්ණ වුනා.

රාත්‍රි 8:00ට පමණ ආරම්භ වූ මේ තරගයේ පළමුවෙන් ගෝල වාර්තා කරන්නට සමත් වුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසිනුයි. ලැබුණු නිදහස් පහරක් සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කරන්නට Mohamed Mufas සමත් වුනා. ඒ 09 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරන්නට අවස්ථා කිහිපයක් හිමි වුවත් ඒවා සාර්ථක කර ගන්නට ඔවුන් සමත් වුනේ නැහැ. ශ්‍රී ලංකා ගෝල රකින ක්‍රීඩක Mohamed Rihas විසින් නේපාල ගෝල කිහිපයක් සාර්ථකව වළක්වන්නට සමත් වීම කැපී පෙනුණා.

ගෝල 1-0ක් ලෙස අවසන් වූ ප්‍රථම අර්ධයෙන් අනතුරුව කණ්ඩායම් නැවතත් පිටියට පිවිසියේ ජයග්‍රහණ පිපාසයෙන් යුතුවයි. දෙපිලේම ක්‍රීඩකයින් විසින් ගෝල වාර්තා කරන්නට ආසන්තම අවස්ථා කිහිපයක් උදා කර ගත්තත් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරන්නට දෙපිලේම ගෝල රකින්නන් ඉඩ තැබුවේ නැහැ.

ඒ අනුව තරගයේ නියමිත කාලවේලාව අවසන් වන විට ගෝල 1-0ක් ලෙස ලකුණු පුවරුව දැක්වුණේ ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව තරග සඳහා අසුන් වෙන්කර ගනිමිනුයි.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ සදෙව් තත්සරයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 1 – 0 මාලදිවයින

ගෝල ලාභීන් –

  • ශ්‍රී ලංකාව: Mohamed Mufas (09’)

අද දිනයේ පැවති අනෙක් තරගය වූ ඉන්දියාව සහ නේපාලය අතර තරගයෙන් ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ නේපාල කණ්ඩායමයි.

ඉන්දියාව වාර්තා කළ එකම ගෝලයේ හිමිකරු වුනේ Danny Meitei Laishram. ඒ 25 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතක් තිබිය දී නේපාල ක්‍රීඩක Saroj Darlami විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

දෙවැනි අර්ධයේ දී නේපාල ක්‍රීඩකයින් විසින් ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වුනා. ඊට හිමිකම් කීවේ Unesh Budatoki සහ Subash Bam විසිනුයි.

අවසන් ලකුණු තත්වය: ඉන්දියාව 1 – 3 නේපාලය

අවසන් ලකුණු තත්වය:

  • ඉන්දියාව – Danny Meitei Laishram (25’)
  • නේපාලය – Unesh Budatoki (50’), Subash Bam (68’)

2012 වසරේ පැවති SAFF කාන්තා පාපන්දු ශූරතාවයට පසුව ශ්‍රි ලංකාවේ SAFF තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින තරගාවලිය සඳහා සහභාගී වන අනෙකුත් රටවල් වනවා.

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයේ අවසන් පූර්ව තරග එළඹෙන 12 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි දී ශ්‍රී ලංකාව නේපාලය සමඟිනුත්, බංග්ලාදේශය ඉන්දියාව සමඟිනුත් තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<