ශ්‍රී ලංකා යෞවනයින් බංග්ලාදේශය හමුවේ පැරදේ

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය 2022

200

මෙරට පාපන්දු ලෝලීන්ට SAFF පාපන්දු තරගාවලියක උණුසුම තිළිණ කරමින් අද (05) ආරම්භ වූ SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය හමුවේ ගෝල 5-1ක පරාජයකට මුහුණ දෙන්නට සත්කාරකයින්ට සිදු වුනා.

බංග්ලාදේශ ක්‍රීඩකයින් පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. ඒ 7 වැනි මිනිත්තුවේ දීයි. ශ්‍රී ලංකා ගෝල රකින්නා වෙත පැමිණි පන්දුවක් ඔහු විසින් වළක්වන්නට උත්සහ කළත් පන්දුව ඔහු අතින් ගිලිහි යන මොහොතේ දී ගෝල රාමුව අසලට දිව ආ Rubel Shaikh විසින් සාර්ථකව පා පහරක් එල්ල කරමින් පන්දුව ගෝල රාමුව තුලට යොමු කරන්නට සමත් වුනා.

බංග්ලාදේශ දෙවැනි ගෝලය ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ හිස් මතින් ගෝල රාමුව දක්වා පැමිණි ආකර්ශනීය ගෝලයක් ලෙස සඳහන් කළ හැකි අතර Parvej Ahmed විසින් පිටිය වෙත ලබා දෙන පන්දුව බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙනෙකුගේ හිස් මතින් ගොස් ගෝල රාමුව අසලට පැමිණියා. Islam Rana සහ Murshid Ali දෙදෙනා වේගයෙන් ගෝල රාමුව අසලට දිවවිත් Murshid විසින් එල්ල කර පා පහරකින් පන්දුව ගෝලය තුලට යොමු වනවා.

10 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයෙන් පසුව පළමු අර්ධය නිමා වන තෙක් ගෝලයක් වාර්තා නොවූ අතර ගෝල 2-0ක් ලෙස බංග්ලාදේශය පෙරමුණ ගනිමින් පළමු අර්ධය නිමා වුනා.

බංග්ලාදේශ තෙවැනි ගෝලයට හිමිකම් කියන්නේ ද Murshid විසින්මයි. පිටියේ කෙළවරක සිට පැමිණෙන පන්දුවක් ගෝල රාමුව අසලින්ම ගෝලය තුළට එල්ල කරන්නට ඔහු සමත් වුනා. ඒ 75 වැනි මිනිත්තුවේ දීයි.

මෙතෙක් වේලා නිහඬව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල ලබා ගැනීමට ආරම්භ කරන්නේ 77 වැනි මිනිත්තුවේ දීයි. ගෝල රාමුව සීමාවෙන් එපිට සිට බංග්ලාදේශ ගෝල රකින්නා වන Asi‍f සමඟ පොර බදිමින් ඉදිරියට ආ Yasser Sharfraz විසින් සාර්ථකව පන්දුව ගෝල රාමුව තුලට එල්ල කරන්නට සමත් වුනා.

බංග්ලාදේශය විසින් වාර්තා කළ සිව්වැනි ගෝලය නොසිතූ මොහොතක ගෝල රාමුව අසලට ඇදී ආ ගෝලයක් වන අතර එය සාර්ථකව ගෝලය තුළට තල්ලු කරන්නට Islam Rana සමත් වුනා.

තරගයේ වාර්තා වූ අවසන් ගෝලය වාර්තා වන්නේ 90+2 මිනිත්තුවේ දීයි. ගෝල රාමුව අසලින්ම පන්දුව ලබා ගත් බංග්ලාදේශ ක්‍රීඩක Nazim Uddin විසින් එම ගෝලයට හිමිකම් කියන අතර ඒ සමඟින් තරගය අවසන් වන්නේ ගෝල 5-1ක් ලෙස බංග්ලාදේශය ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 1 – 5 බංග්ලාදේශය

ගෝල ලාභීන් –

  • බංග්ලාදේශය: Rubel Shaikh (7’), Murshid Ali (10’, 75’), Islam Rana (79’), Nazim Uddin (90+2)
  • ශ්‍රී ලංකාව: Yaseer Sharfraz (77’)

සමාරම්භක දිනයේ දී තරග දෙකක් පැවති අතර එහි දී පැවති පළමු තරගයෙන් භූතානය ගෝල 3-0ක් ලෙස පරාජය කරන්නට ඉන්දියාව සමත් වුනා.

ඉන්දියාව තරගාවලිය සඳහා සාර්ථකව අවතීර්ණ කරවමින් Thanglasoun Gangte විසින් ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වූ අතර Vanlalpeke Guite විසින් තෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: භූතානය 0 – 3 ඉන්දියාව

ගෝල ලාභීන් –

  • ඉන්දියාව: Thanglasoun Gangte (9’,15’), Vanlalpeke Guite (47’)

තරගාවලියේ තවත් තරග කිහිපයත් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

2012 වසරේ පැවති SAFF කාන්තා පාපන්දු ශූරතාවයට පසුව ශ්‍රි ලංකාවේ SAFF තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින තරගාවලිය සඳහා සහභාගී වන අනෙකුත් රටවල් වනවා.

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<