පන්දුවට පහර දෙන්න නොලැබෙන නිසා Chahal සතුටින්!

IPL 2023

510

Rajasthan Royals කණ්ඩායමේ නිත්‍ය පා දඟපන්දු නියෝජනය වන Yuzvendra Chahal විසින් IPL වෙත පළමු වරට හඳුන්වා දී ඇති Impact Player නීතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනවා.

පිතිකරණ අංශයෙන් කණ්ඩායමට කිසිදු ප්‍රයෝජනයක් නොමැති තමන් වැන්නෙකු වෙනුවෙන් භාවිත කළ හැකි Impact Player සංකල්පය මෙවර IPL තරගාවලියේ දී තම කණ්ඩායමට හොඳ අවස්ථාවක් උදා කර දුන් බවයි Chahal විසින් ඊයේ (18) දිනයේ දී මාධ්‍ය හමුවේ පවසා තිබුණේ.

Dhruv (Jurel) සහ Dev (Devdutt Padikkal) පන්දුවට පහර දුන් විදිහෙන් එය (Impact Player) අපිට වාසිදායක විදිහට වැඩ කරලා තියෙන බව පේනවා. මම පිත්තෙන් කිසිම දායකත්වයක් නොදෙන කෙනෙක් විදිහට ඒක ධනාත්මක දෙයක්. ඔබ විශාල ඉලක්කයක් හඹා යද්දී අමතර පිතිකරුවෙක් ඉන්න එක උදව්වක් වෙනවා.”

මෙතෙක් තරගාවලියේ Rajasthanය ක්‍රීඩා කළ තරග 5න් දෙකක දී ම Impact Player නීතිය අනුව ආදේශකයක් වෙනුවෙන් පිටියෙන් ඉවත් වූ ක්‍රීඩකයා බවට පත් වූ Chahal විසින් එසේ සිය අදහස් ප්‍රකාශ කරනවා.

එමෙන් ම Chahalට අමතර ව අනෙක් තරග තුනේ දී ආදේශ වූ පන්දු යවන්නන් වුනේ Adam Zampa, Murugan Ashwin සහ Navdeep Saini වන අතර ඔවුන්ට නම් එම තරගවල දී බලාපොරොත්තු වූ තරම් දෙයක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට හැකියාව ලැබුණේ නැහැ.

නමුත් Chahal වෙනුවට පිතිකරුවන් ලෙස ආදේශ වූ Dhruv Jurel සහ Devdutt Padikkal දෙදෙනාගේ නම් කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් යම් දායකත්වයක් ලබා දීමට සමත් වුනා.

Punjab Kings සමඟ තරගය Rajasthanය පරාජය වුනත් එහි දී පන්දු 15ක් තුල ලකුණු 32ක් ලබා ගැනීමට Jurel සමත් වූ අතර, Gujarat Titans සමඟ තරගය ජයග්‍රහණය කර වීම වෙනුවෙන් Devdutt Padikkal විසින් ආදේශක ක්‍රීඩකයා ලෙස පැමිණ ලබා ගත් ලකුණු 26 විශාල පිටිවහලක් වුනා.

එමෙන් ම මෙවර Rajasthanය සතු දඟපන්දු බළඇණිය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර ඔවුන් සතු ව Chahalට අමතරව Ravichandran Ashwin සහ Adam Zampa යන විශිෂ්ට දඟපන්දු යවන්නන් දෙදෙනා ම සිටීම කණ්ඩායමට අතිමහත් ශක්තියක් එක් කර තිබෙනවා.

“තරගයේ තත්වය අනුව කණ්ඩායම් කළමනාකාරිත්වය ඒ පිළිබඳ (ඔවුන් තිදෙනා ම එකට ක්‍රීඩා කිරීම පිළිබඳ ව) තීරණය කරනවා. ඒ වගේ ම අපි පසුගිය තරග දෙක ම එකට ක්‍රීඩා කළා. අපි අතර හොඳ බැඳීමක් තියෙනවා.”

Chahal සිය දඟපන්දු සගයින් පිළිබඳ එසේ පවසනවා. එමෙන්ම පසුගිය IPL තරගාවලියේ (2022) වැඩි ම කඩුලු ලාභියා බවට පත් වීමට Chahal සමත් වූ අතර (කඩුලු 27), මෙවරත් දැනට තරගාවලියේ ඉහළ ම කඩුලු ලාභියා ලෙස වැජඹෙන්නේ (කඩුලු 11) ඔහුයි. නමුත් වැඩි ම කඩුලු ලාභියා සතු වන දම් පැහැ තොප්පිය (Purple Cap) පමණක් මෙවර තමන්ට ප්‍රමාණවත් නොවන බවයි Chahal විසින් පවසන්නේ.

මේ වන විට ක්‍රීඩා කළ තරග 5න් හතරක් ම ජයග්‍රහණය කරමින් IPL ලකුණු සටහනේ ඉහළින් ම රැඳී සිටීමට සමත් වී සිටින Rajasthanය මෙවර ශූරතාව දිනා ගැනීම තමන්ගේ ඉහළ ම බලාපොරොත්තුව බවයි Chahal විසින් වැඩි දුරටත් පවසා සිටියේ.

මෙවර IPL තරගාවලියේ 26 වැනි තරගය අද (19) Rajasthan Royals සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය ඇතුළු තරගාවලියේ සියලු ම තරග සජීවී ව නැරඹීමේ අවකාශය ThePapare.com වෙතින් ඔබට උදා කර දී තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<