බණ්ඩාරවෙළ උණුසුම් කළ සාන්ත තෝමසුවන්ගේ ජයග්‍රහණය

වයස අවුරුදු 17න් පහළ තෙවැනි කොටසේ සීමිත පන්දුවාර තරගාවලිය

327

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ තෙවැනි කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බණ්ඩාරවෙළ සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
1 සරස්වතී ද්‍රවිඩ මධ්‍ය මහා විද්‍යාලය, බදුල්ල සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 225ක ජයක්.
2 ඌව විද්‍යාලය, බදුල්ල සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 208ක ජයක්.
දෙවැනි වටය
3 සෙවනපිටිය මහා විද්‍යාලය, පොළොන්නරුව සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 362ක ජයක්.
තෙවැනි වටය
4 ඩී. එස්. සේනානායක විද්‍යාලය, අම්පාර සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 51ක ජයක්.
සිව්වැනි වටය
5 මහානාම විද්‍යාලය, මොනරාගල සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 68ක ජයක්.
පෙර අර්ධ අවසන් පූර්ව වටය
6 අර්ෆා විද්‍යාලය, එරාවුර් සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 39ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
7 සාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරය සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 20ක ජයක්.
අවසන් පූර්ව වටය
8 නමඩගස්වැව මහා විද්‍යාලය, නමඩගස්වැව වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන ලදි. (පෙර තරගවල ලකුණු ලබා ගැනිමේ වේගය මත සාන්තා තෝමස් විද්‍යාලය ඉදිරියට)
අවසන් මහා තරගය
9 ශ්‍රී සුමංගල විද්‍යාලය, හික්කඩුව සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 70ක ජයක්.

සාන්ත තෝමස් විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම: ප්‍රවිශ්ක නදීන් (නායක), ශිමල්ක කාංචන, නික්ෂ පෙරේරා, චිරාන් මහකුමාරගේ, සමෝද් කේතක, පොන්නම්බලම් හරිකරන්, ජයතු ජයමාන්න, දිනෙත් රත්නායක, සෙනුල් ලක්ෂ්මන්, අරෝෂ ධර්මදාස, ප්‍රතීක්ෂන් ජයසීලන්, රිත්ම බණඩාර, තරුෂ දිසානායක.

නිලධාරීන්: පාලිත නවරත්න මහතා (විදුහල්පති), හේමක ආරියරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), එස්. සුරෙන්ද්‍රකුමාර් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

අවසන් මහා තරගය

කඳාන ද මැසිනෝද් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදින් වූයේ හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමයි.

සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම: ප්‍රවිශ්ක නදීන් (නායක), ජයසීලන් ප්‍රිතික්ශාන්, සෙනුල් ජින්තුක, සමෝද් කේතක, මින්දින මහකුමාරගේ (කඩුලු රකින්නා) නික්ශ පෙරේරා, දිනෙත් පැහැසර, ශිමල්ක කාංචන, කල්හාර දිසානායක, ජයතු ජයමාන්න, ඔසුක බණ්ඩාර.

>> Photos – S. Thomas’ College, Bandarawela vs Sri Sumangala College, Hikkaduwa | U17 Division 3 Schools Cricket Tournament 2023 – Final <<

ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායම: කවීෂ සඳරුවන් (නායක), ලකිත් නේමින්ද, විනෝද් ධනුශ්ක, ප්‍රවීන් රොද්‍රිගෝ, තරුන් දම්සිත්, සොහාන් ඉසිවර, ශනුක දෙනුවන්, විහඟ නිම්සර, ප්‍රමෝද් නිම්සර (කඩුලු රකින්නා) ජමිත් මධුභාෂණ, කෞෂල්‍ය සාරංග.

පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 171ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 111ක් පමණයි. ඒ තරගය නිමා වීමට තවත් පන්දු 71ක් ඉතිරිව තිබිය දීයි.

සාන්ත තෝමස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක ප්‍රවිශ්ක නදීන්. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.

ඊට අමතරව ශිමල්ක කාංචන පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

කඩුලු බිඳ දැමීමේ දී තරුන් දම්සිත් සහ ශනුක දෙනුවන් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ලකිත් නේමින්ද කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 111ක් පමණයි.

ඔවුන්ගේ ඉනිමේ 43 වැනි ලකුණේ දී පන්දු 6ක් තුළ කඩුලු 3ක් දවා ගැනිමට ප්‍රතිවාදීන් සමත් වීම කැපී පෙනුණා. අනතුරුව නැවතත් ලකුණු 58 දී ද පන්දු 10ක දී කඩුලු 2ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් සම්පූර්ණයෙන් ම අඩපණ කිරීමට සාන්ත තෝමස් පන්දු යවන්නෝ සමත් වුනා.

ජයග්‍රාහී සාන්ත තෝමසුවන් වෙනුවෙන් ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීමට කල්හාර දිසානායක සමත් වෙද්දී නික්ශ පෙරේරා ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව දිනෙත් පැහැසර, ජයතු ජයමාන්න සහ ඔසුක බණ්ඩාර කඩුල්ල බැගින් දවා ගත්තා.

ශ්‍රී සුමංගල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ පමෝද් නිම්සර. ඔහු පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තා. ඊට අමතරව තරුන් දම්සිත් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ලබා ගත්තා.

සාන්ත තෝමස් විද්‍යාලය – සියලුම දෙනා දැවී 171 (37.5): ජයසීලන් ප්‍රිතික්ශාන් 21, ප්‍රවිශ්ක නදීන් 61, ශිමල්ක කාංචන 46, ලකිත් නේමිද 2/38, ශනුක දෙනුවන් 3/29, තරුන් දම්සිත් 3/21

ශ්‍රී සුමංගල විද්‍යාලය – සියලුම දෙනා දැවී 111 (38.1): ප්‍රමෝද් නිම්සර නොදැවී 23, කල්හාර දිසානායක 4/21, නික්ශ පෙරේරා 3/30,

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 70ක ජයක්.

ජයග්‍රාහී සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ශූරතා කුසලානය සමඟ

සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ දක්ෂතා

ඔවුන්ගේ ජයග්‍රාහී මෙම ගමනේ දී දැවැන්ත ඉනිම් කිහිපයක් ම සේ ම දැවැන්ත ජයග්‍රහණ කිහිපයක් ද වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුණා. ඔවුන් දෙවැනි වටයේ දී පොළොන්නරුව, සෙවනපිටියට මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 9කට ලකුණු 468ක් ලබා ගන්නා ලද අතර එය ඔවුන් මෙවර තරගාවලියේ දී ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වුනා.

එම තරගයේ දී ප්‍රතිවාදීන් ලකුණු 106කට සීමා කරන ඔවුන් තරගයෙන් ලකුණු 362ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම පරතරයකින් යුතුව ජයග්‍රහණය කළ තරගය සේ ඉතිහාසයට එක් කළා.

එමෙන් ම මෙවර තරගාවලියේ දී ඔවුන් ප්‍රතිවාදී කණ්ඩායමක් අමාරුවේ දැමූ ඉහළ ම අවස්ථාව වෙන්නේ මොනරාගල මහානාම විද්‍යාලය ලකුණු 68කට දවා ගැනීමයි.

ජයග්‍රාහී මෙම ගමනේ දී තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ දකුණත් පිතිකරු ජයසීලන් ප්‍රතික්ෂන්. ඔහු තරග 9ක ඉනිම් 9ක දී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 378ක් ලබා ගත්තා. ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූනේ බදුල්ල, ඌව විද්‍යාලයට එරෙහිව පන්දු 45ක දී ලබා ගත් ලකුණු 88යි.

කණ්ඩායමේ නායකයා ලෙසින් වැඩි වැඩ කොටසක් කිරීමට ප්‍රවිශ්ක නදීන් සමත් වුනා. ඔහු පොළොන්නරුව, සෙවනපිටිය මහා විද්‍යාලයට පන්දු 88ක දී ලකුණු 135ක්  විද්‍යාලවට එරෙහිව ලබා ගත් ශතක සමඟින් තවත් අර්ධ ශතකයක් ද තම පිතිකරු ගිණුමට එක් කර ගනිමින් තරගාවලියේ ඉනිම 9ක දී ලකුණු 287ක් ලබා ගත්තා.

ඊට අමතරව සාන්ත තෝමස් ලකුණු පුවරු සැරසූ ඉදිරිපෙළ පිතිකරුවන් ලෙසින් චිරාන් මහකුමාරගේ (171), සමෝද් කේතක (168) සහ සෙනුල් ලක්ෂ්මන් (159) හැඳින්විය හැකි.

තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවන් අතර ප්‍රමුඛයෙන් ම සටහන් වෙන්නේ ශිමල්ක කාංචන. ඔහු තරග 9ක ඉනිම් 6ක දී පමණක් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස අර්ධ ශතකයක් සමඟින් ලකුණු 212ක් ලබා ගැනීමට සමත් වෙනවා.

වමත් දඟපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක්වූ ශිමල්ක කාංචන ලබා ගත් කඩුලු සංඛ්‍යාව 15ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වෙන්නේ බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 27කට දවා ගත් කඩුලු 5යි.

ඊට අමතරව නික්ෂ පෙරේරා ද තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙක් ලෙසින් ඉදිරියෙන් ම සිටිනවා. ඔහු බදුල්ල සරස්වතී මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සමඟින් තරගාවලියේ තරග 9ක ඉනිම් 7ක දී ලකුණු 158ක් ලබා ගත්තා. ඔහු සරස්වතී විද්‍යාලය සමඟ තරගයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 101ක්. දකුණතින් පිට දඟපන්දු යැවූ නික්ෂ ලබා ගත් කඩුලු සංඛ්‍යාව 18ක්.

සාන්ත තෝමසුවන් වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩක ලැයිස්තුවේ පළමුවැනියා වූයේ වමතින් දඟපන්දු යැවූ රිත්ම බණ්ඩාර. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 17ක්. පොළොන්නරුව සෙවනපිටියට මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 26කට දවා ගත් කඩුලු 5 ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

ඊට අමතරව දිනෙත් රත්නායක කඩුලු 13ක් ද, මිෂේන් සිල්වා කඩුලු 9ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වද්දී, තරුෂ දිසානායක සහ ජයතු ජයමාන්න කඩුලු 6ක් බැගින් ලබා ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය දක්වනවා.

සාන්ත තෝමසුවන් වෙනුවෙන් හොඳම පන්දු යැවීම වාර්තා කළේ මිෂේන් සිල්වා. ඔහු බදුල්ල, ඌව විද්‍යාලයට එරෙහිව ලකුණු 15කට කඩුලු 5ක් දවා ගන්නවා.

වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් පිටියේ තෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනා බණ්ඩාරවෙළ සාන්ත තෝමස් විද්‍යාලයට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්!

දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<