අවිශ්ක, වනිඳු, දසුන් එක්ක එන රසල්ගේ හොඳම LPL කණ්ඩායම

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

8984

වසර ගණනාවක දේශීය ප්‍රිමියර් ලීග් තරගාවලි නියඟය නිමා කරමින් ඇරඹි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වන විට අවසන් තරග කීපය දක්වා පැමිණ තිබෙනවා. මෙම තරගාවලිය තුල විදෙස් ක්‍රීඩකයන්ට වඩා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දස්කම් දැක්වීමට සමත් වීම බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් කරුණක්.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සමුගැනීමෙන් අනතුරුව තරමක පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තබා ගැනීමේ පෙරනිමිති තරගාවලිය තුලින් දක්නට ලැබීම විශේෂත්වයක්. 

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් ජනප්‍රිය විස්තර විචාරකයෙකු වන රසල් ආනල්ඩ් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම කණ්ඩායම සිය Twitter ගිණුමේ සඳහන් කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්: 

රසල්ගේ 11 දෙනාගේ සංචිතයේ ස්ථානයක් දිනා ගෙන සිටි ධනුෂ්ක ගුණතිලක Galle Gladiators නියෝජනය කරන ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක්. මෙවර තරගාවලිය තුල වඩාත් සාර්ථකම ආරම්භක පිතිකරුවා බවට පත්ව සිටින ඔහු තරග 6ක් තුල දී ලකුණු 322ක් වාර්තා කර ඇත්තේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. 

අවිශ්ක ප්‍රනාන්දු හට ද මේ සංචිතයේ ඉඩක් තිබෙන අතර මේ තරුණ ආරම්භක පිතිකරුවා Jaffna Stallions ජයග්‍රහණය කරා ගෙන යාමේ ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කිරීමට ඔහු සමත්වූයේ තරග 6ක් තුල ලකුණු 209ක් වාර්තා කරමිනි.

මෙම සංචිතයේ තිසර පෙරේරා හට ද ස්ථානයක් වෙන්වන අතර තරගාවලිය තුල තරග 6ක දී පන්දුවට පහර දීමේ වේගය 215.73 තරම් ඉහල අගයක රඳවා ගැනීමට ඔහු සමත්ව තිබෙනවා. තරගාවලියේ මේ දක්වා වාර්තා වූ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියන්නේ ද තිසර.

තරගාවලිය තුල වඩාත් අවධානය දිනා ගත් ක්‍රීඩකයා ලෙස Jaffna Stallions කණ්ඩායමේ වනිඳු හසරංග හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. පා දඟපන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට සිය උපරිම දායකත්වය ලබාදෙන ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව අවසන්. පන්දු යැවීමෙන් පමණක් නොව පිතිකරණයෙන් ද ඔහු කණ්ඩායමට සිය උපරිම දායකත්වය ලබාදීමට සමත්ව ඇත.

Colombo Kings නියෝජනය කරන දුශ්මන්ත චමීර කලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටියේ ඇතිවූ ආබාධ කීපයක් නිසාවෙන් වුවත් මෙවර තරගාවලියේ දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට චමීර සමත් වුනේ වේගවත් පන්දු යැවීමක් සමඟින්.

පසුගිය වසර කීපය තුල ප්‍රබල දඟපන්දු යවන්නෙකු ලෙස දක්ෂතා දැක්වීමට සමත් වූ සඳකැන් අවසන් වරට පැවති Galle Gladiators සහ Colombo Kings අතර තරගය තුල විශිෂ්ට දස්කම් දැක්වමින් ප්‍රබල ක්‍රීඩක Andre Russellගේ කඩුල්ලත් සමඟින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

රසල් නම් කළ සංචිතය: ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න, දසුන් ශානක, තිසර පෙරේරා, වනිඳු හසරංග, ඉසුරු උදාන, සුරංග ලක්මාල්, දුශ්මන්ත චමීර, ලක්ශාන් සඳකැන්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (08) කිසිදු තරගයක් නොපැවැත්වෙන අතර හෙට Dambulla Viiking සහ Galle Gladiators සහ Jaffna Stallions සහ Kandy Tuskers අතර තරග පැවැත්වීමට නියමිතව ඇත. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<