Naveen-ul-Haq බොරුකාරයෙක්; Amirගෙන් පිළිතුරක්

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

2630

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Kandy Tuskers සහ Galle Gladiators අතර පැවති තරගයේ දී ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Naveen-ul-Haq සහ පාකිස්තාන ක්‍රීඩක Amir Khan අතර ඇතිවූ බහින්බස් වීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබුණි.

මෙම ගැටුම පිළිබඳව පාකිස්තාන සුපිරි ක්‍රීඩක Shahid Afridi තරගයෙන් අනතුරුව අදහස් දක්වා තිබූ අතර පසුව Naveen-ul-Haq එයට පිළිතුරු ලබා දී තිබුණි. කෙසේ වෙතත් Naveen-ul-Haqගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් Mohammed Amir ද අදහස් දක්වා ඇති අතර ඔහු පවසා ඇත්තේ Naveen-ul-Haq බොරුකාරයෙක් බවයි.

Mohammed Amir පවසා ඇත්තේ ඔහු Naveen-ul-Haq හෝ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පිළිබඳව කිසිදු දෙයක් නොපැවසූ බවයි.

“Naveen-ul-Haq කියන්නේ බොරුවක්. මම ඔහුට හෝ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිම අපහාසයක් කළේ නැහැ. ඔහු තමයි දිගින් දිගටම මට අපහාස කළේ. ඔහු මට “පාවාදෙන්නා” කියලා චෝදනා කළා. ඒ වගේම ඔහු මට කිව්වා මම වසර 5කට හිරේ යන්න ඕනේ කියලා” Mohammed Amir, Saj Sadiq වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

Cricingif වෙබ් අඩවිය වෙත Mohammed Amir මීට පෙර මේ පිළිබඳව අදහස් දක්වා තිබූ අතර ඔහු පවසා සිටියේ Naveen-ul-Haq තරගය අවසන් වූ පසුව ද ඔහුත් සමඟින් දිගින් දිගටම බහින්බස් වීමට උත්සාහ කළ බවයි. 

“ඒ වගේ වෙලාවල දී මමත් කෝපයට පත්වුනා” Amir පවසා තිබේ. 

තවත් ක්‍රිකට් පුවත්:

මෙවන් තරගයක් තුල ක්‍රීඩකයන්ගේ හෘද ස්පන්දන වේගය 170-200ක් පමණ වන බවත්, එවන් අවස්ථාවක දී ක්‍රීඩකයන් කරන දේවල් සම්බන්ධයෙන් එතරම් කල්පනාකාරී නොවන බවත් Amir මාධ්‍ය වෙත පවසා තිබේ. කෙසේ වෙතත් මෙවන් සිදුවීම් වළක්වා ගත යුතු බවත් ඔහු පවසා තිබේ. 

“Naveen-ul-Haq කියන්නේ තරුණ ක්‍රීඩකයෙක්. ඔහුට එතරම් අත්දැකීම් නැහැ. ඔහු කාලයත් එක්ක මේ ගැන ඉගෙන ගනීවි. ඇත්තෙන්ම මේක ක්‍රිකට් ක්‍රීඩාවේ එක් කොටසක්. තරගයේ උණුසුමත් එක්ක මේ වගේ දේවල් සාමාන්‍යයි. මේවා එතරම් පෞද්ගලික මට්ටමකට යන්න ඕනේ නැහැ. Shahid Afridi ඔහුට කිව්වේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් එක්ක කටයුතු කරන්නේ මෙහෙම නෙමෙයි කියලා. මේක තරගයක්. ඉතින් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. පන්දු යවන්නන් විදිහට අපේ ඉලක්කය වෙන්න ඕනේ පිතිකරුවන් දවාගන්න එක. ක්‍රීඩකයන් අපහසුතාවයට පත් කරන එක නෙමෙයි” Amir තවදුරටත් පවසා තිබුණි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (06) කිසිදු තරගයක් නොපැවැත්වුනු අතර අද (07) Colombo Kings සහ Galle Gladiators අතර තරගය සහ Jaffna Stallions සහ Dambulla Viiking අතර තරගය පැවැත්වීමට නියමිතව තිබේ. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<