LPL තරගයක් වැස්සට බිලි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

619
Jaffna Stallions Media Unit

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වන තරගය අද (07) දින Jaffna Stallions සහ Dambulla Viiking කණ්ඩායම අතර හම්බන්තොට දී ආරම්භ වූ නමුත් එම තරගය අවසානය දක්වා පැවැත්වීමට නොහැකි වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙනි. 

ඒ නිසාවෙන් එක් ප්‍රසාද ලකුණ බැගින් කණ්ඩායම් දෙක අතර බෙදා දීමට තරග සංවිධායකයින් කටයුතු කරන ලදි. තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Stallions නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර Dambulla Viiking ඉනිමේ පන්දුවාර 7ක් අවසානයේ ලකුණු සටහන 42/3ක් ලෙස දිස්වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. 

LPL තතුවිත්ති: 

ලහි ලහියේ ක්‍රියාත්මක වූ ක්‍රීඩා පිටියේ සහායක කාර්ය මණ්ඩලය ඉතාමත් ඉක්මණින්ම මුළු පිටියම ආවරණය කරමින් වැසි ආවරණ යෙදූ අතර පැයකට වඩා වැඩි වේලාවක් වර්ෂාපතනය දැඩි ලෙස ඇදවැටුනි. පසුව මොහොතකට වර්ෂාව අවසන් වූ පසුව වැසි ආවරණ ඉවත් කිරීම සඳහා එම කාර්ය මණ්ඩලය කටයුතු සූදානම් කරමින් සිටිය දී නැවතත් තරගයට දැඩි වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය ප්‍රතිඵලයකින් තොරව නිමා කිරීමට තරග තීරකවරුන් කටයුතු කළේය. 

කණ්ඩායම් දෙකම අද තරගය සඳහා අවතීර්ණ වූයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් වන අතර වයස අවුරුදු 25ක් වන සදීර සමරවික්‍රම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරූ චරිත අසලංක පිළිවෙළින් Dambulla Viiking සහ Jaffna Stallions යන කණ්ඩායම් නියෝජනය කරමින් අද දිනයේ දී LPL වරම් දිනා ගත්තේය. 

හෙට (08) දිනය LPL තරගාවලියේ විවේකි දිනයක් වන අතර මෙම මස 9 වැනිදා Kandy Tuskers සහ Jaffna Stallions කණ්ඩායම් අතර තරගය සහ Galle Gladiators සහ Dambulla Viiking කණ්ඩායම් අතර තරගය හම්බන්තොට දී පැවැත්වේ. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<