සාන්ත පීතර ක්‍රීඩකයින් අපරාජිතව ද්විත්ව ශූරතා දිනයි

Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය 2023

461

ලීග් තරගාවලියේ දී රඳවා ගත් ආධිපත්‍ය එලෙසම පවත්වා ගනිමින් Dialog පාසල් රග්බි පිළිමළුන් පිටුදැකීමේ සභාපති කුසලානය ජයග්‍රහණය කිරීමට සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම ඊයේ (10) සමත් වුනා. 

මෙම වසරේ පැවති සත් සාමාජික තරගාවලියේ ශූරයින් වූ ඉසිපතන විද්‍යාලය සහ ලීග් තරගාවලියේ ශූරයින් වූ සාන්ත පීතර විද්‍යාලය තරග වැදුණු මෙම අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි. 

තරගයට අවශ්‍ය වූ ආරම්භ සිය කණ්ඩායමට දිනා දුන් සාන්ත පීතර ක්‍රීඩක සුදේෂ් ජයවික්‍රම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර යුමෙත් ශිහාර එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා. 

ඉසිපතන ක්‍රීඩකයින්ට තරගයේ පළමු ලකුණ වාර්තා කර දීමට රිනේෂ් සිල්වාට හැකි වුනේ සාන්ත පීතර ක්‍රීඩකයින්ගේ වරදින් හිමි වූ දඬුවම් පහරක් ඉතා සාර්ථකව එල්ල කිරීමෙනුයි. 

නමුත් ඉසිපතන ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් දුලාජ් නවෝද්‍ය උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද යුමෙත් ශිහාර සාර්ථකව එල්ල කළා.  

පළමු අර්ධයේ වැඩි ගෞරව සාන්ත පීතර ක්‍රීඩකයින් සතු කරමින් දිනෙත් රණසිංහ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වෙද්දී, ඉසිපතන ක්‍රීඩක නවීන් කවිෂ්ක වාර්තා කළ උත්සාහක දිනුම නිසා පළමු අර්ධය ලකුණු 19-08ක් ලෙස සාන්ත පීතරයින් පෙරමුණේ තබමින් අවසන් වුනා. 

දෙවැනි අර්ධය ආරම්භයේ දී ම රිනේෂ් සිල්වා දඬුවම් පහරක් වාර්තා කරමින් ඉසිපතනයට ලකුණු එක් කරද්දී, එයට පිළිතුරු ලෙස දඬුවම් පහරක් එල්ල කරමින් යුමෙත් නැවතත් ලකුණු පරතරය වැඩි කළා. 

සාන්ත පීතර ක්‍රීඩකයෙකු කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීමේ වාසිය ලබා ගත් ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් සෙනුත් සෙනරත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කිරීමට සමත් වුනා. 

නමුත් සිය කණ්ඩායමට අවශ්‍යම මොහොතේ වගකීම ගත් යුමෙත් ශිහාර කැපී පෙනෙන දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා. 

ඒ අනුව මෙවර ලීග් තරගාවලිය සහ පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය යන ද්විත්වයම අපරාජිතව ජයග්‍රහණය කරමින් ද්විත්ව ශූරයින් ලෙස තරග වාරය අවසන් කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන් මෙලෙස ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත් වුනේ වසර 13කට පසුව වීම විශේෂත්වයක්.  

ThePapare.com තරගයේ වීරයා: සුදේෂ් ජයවික්‍රම (සාන්ත පීතර විද්‍යාලය)  

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 25 (3T,2C,2P) – 16 (2T,2P) ඉසිපතන විද්‍යාලය 

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්, 

  • සාන්ත පීතර: සුදේෂ් ජයවික්‍රම 1T, දුලාජ් නවෝද්‍ය 1T, දිනෙත් රණසිංහ 1T, යුමෙත් ශිහාර ,2C & 2P.  
  • ඉසිපතන: නවීන් කනිෂ්ක 1T, සෙනුත් සෙනරත් 1T, රිනේෂ් සිල්වා 2P.  

දෙස් විදෙස් රග්බි පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<