අපරාජිත සාන්ත පීතරයින් අන්තර් පාසල් ලීග් රග්බි කිරුළ දිනයි!

Dialog අන්තර් පාසල් ලීග් 2023

1113
Unbeaten St. Peter’s College crowned Dialog Schools Rugby League 2023 Champions

2010 වසරෙන් පසුව පළමු වතාවට අන්තර් පාසල් ලීග් රග්බි කුසලානය බම්බලපිටියට රැගෙන යන්නට සාන්ත පීතර කණ්ඩායම ඊයේ (19) සමත් වුනා.  

ඒ කොළඹ ඉසිපතන විද්‍යාලය ලකුණු 28-17ක් ලෙස පරාජය කරමිනුයි. සුපිරි වටයේ අනෙක් තරගයේ දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා. 

සාන්ත පීතර විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය 

තරගාවලියේ එකම අපරාජිත කණ්ඩයම වූ සාන්ත පීතර කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ යුමෙත් ශිහාරගේ උත්සාහයෙනුයි. එහි ප්‍රවර්තනයත් ඔහුම සාර්ථක කරගත්තේ සාන්ත පීතර කණ්ඩායමට තරගයේ පෙරමුණ ලබා දෙමිනුයි. 

සාන්ත පීතර ක්‍රීඩක විස්මික මෙතුසරට ලැබුණු කහ කාඩ්පතේ වාසිය උකහාගත් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ඉසිපතන ක්‍රීඩක රිනේෂ් සිල්වා දඬුවම් පහරකින් ලකුණු රැස් කරන්නට සමත් වුනා.

ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ සුරතින් සාන්ත පීතර කණ්ඩායම සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේ ඉසිපතන ආරක්ෂක වළල්ල නොසිතූ මොහොතක බිඳ දමමිනුයි. දුලාජ් නවෝදය එම උත්සාහක දිනුමට හිමිකම් කියන්නට සමත් වුනා.  (සාන්ත පීතර 12-03 ඉසිපතන) 

සත්කාරකයින්ගේ දැඩි පීඩනය හමුවේ ඉසිපතන ක්‍රීඩකයින් අතපසුවීම් කිහිපයක්ම සිදු කළ අතර ඒ අවසරයෙන් තවත් දඬුවම් පහරක් ගුවන්ගත කරන්නට යුමෙත් ශිහාර සමත් වුනා 

පළමු අර්ධය නිමාවට පෙර ලකුණු පරතරය තවදුරටත් අඩු කරන්නට ඉසිපතනය සමත් වුනේ රිනේෂ් සිල්වාගේ සුරතිනුයි. එම ප්‍රවර්තනයත් ඔහු විසින්ම සාර්ථක කරගත්තා. 

පළමු අර්ධය: සාන්ත පීතර විද්‍යාලය 15-10 ඉසිපතනය විද්‍යාලය 

දෙවැනි අර්ධය වේගවත් ලෙස ආරම්භ කළ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දිනෙත් රණසිංහ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. ශිහාරගේ අලංකාර පන්දු යොමු කිරීමක් දිනෙත් ධවල රේඛාවෙන් එපිටට රැගෙන යද්දී එහි ප්‍රවර්තනය අසාර්ථක වුනා 

තරගයේ උණුසුම තවත් වැඩි කරමින් ඉසිපතන කණ්ඩායම මිනිත්තු කිහිපයක් ඇතුළත එම උත්සාහක දිනුමට පිළිතුරු ලබා දුන්නේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් රැස් කළ දක්ෂ උත්සාහක දිනුමක් ආධාරයෙනුයි. දමිරු රාජපක්ෂ එම උත්සාහක දිනුමට හිමිකම් කියද්දී, රිනේෂ් සිල්වා ලකුණු පරතරය ලකුණු තුනක් දක්වා අඩු කරන්නට සමත් වුනා. (සාන්ත පීතර 20-17 ඉසිපතන) 

අනතුරුව ක්‍රියාත්මක වූ සාන්ත පීතර විද්‍යාලයේ කුෂාන් තරිඳු උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කළේ වසර 13කට පසු පීතරයින්ට ලීග් රග්බි කිරුළ හිමිකර දෙමිනුයි. 

  • NDB තරගයේ වීරයා – වින්ද්‍ය ද මෙල් (සාන්ත පීතර)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 28 (4T,1C,2P) – ඉසිපතන විද්‍යාලය 17 (2T,2C,1P) 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ 

  • සාන්ත පීතර: යුමෙත් ශිහාර (1T, 1C, 1P), දුලාජ් නවෝද්‍ය (1T), කුෂාන් තරිඳු (1T, 1P), දිනෙත් රණසිංහ (1T)  
  • ඉසිපතන: රිනේෂ් සිල්වා (1T, 2C, 1P), දමිරු රාජපක්ෂ (1T) 

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය 

කොළඹ ආනන්ද විද්‍යාලය පරාජය කරමින් විලියම් ගොපල්ලව පලිහ දිනා ගන්නට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් වුනා. තරගයේ අවසන් ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 48-16ක් ලෙසයි. 

තරගය ආරම්භ වී පළමු මිනිත්තු කිහිපයේ දී ම විද්‍යාර්ථ කණ්ඩායම තරගයට පිවිසුණේ හෙට්ටිආරච්චි විසින් වාර්තා කළ උත්සාහක දිනුමකින්. පළමු අර්ධයේ දී ලකුණු රැස් කළ එකම ආනන්ද ක්‍රීඩකයා වෙමින් චමුදිත දෙනෙත් දඬුවම් පහර දෙකක් මඟින් ලකුණු රැස් කළා. 

පළමු අර්ධයේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ විද්‍යාර්ථ ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් කළේ ලකුණු 33-06ක් ලෙසයි. යසිත් වීරසිංහ, නංජන විජේසූරිය, ෂාකික් හා ගයාන් පෙරේරා පළමු අර්ධයේ දී උත්සාහක දිනුම් රැස් කළා. 

දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 15ක් ලකුණු පුවරුවට එකතු කරන්නට විද්‍යාර්ථ ක්‍රීඩකයින් සමත් වුනා. නංජන විජේසූරිය සිය දෙවැනි උත්සාහක දිනුම රැස් කරද්දී, රනිඳු ගජනායක හා ප්‍රවීන් ද මෙල් ද උත්සාහක දිනුම් ලකුණු පුවරුවට එකතු කළා. දුෂ්කර හඹා යෑමක නිරත වූ ආනන්ද කණ්ඩායම වෙනුවෙන් චමුදිත දෙනෙත් හා සචිත්‍ර කූරගොඩගේ උත්සාහක දිනුම් රැස් කළා. 

අවසන් ලකුණු තත්වය: විද්‍යාර්ථ විද්‍යාලය 48 (8T 4C) – 16 (2T 2P) ආනන්ද විද්‍යාලය  

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා මහානාම විද්‍යාලය  

කොළඹ මහානාම විද්‍යාලය ලකුණු 39-05ක් ලෙස පරාජය කරමින් රන් මහා රග්බි සටන ජය ගන්නට කොළඹ ඩී. එස් සේනානායක විද්‍යාලය සමත් වුනා. තරගය පැවැත්වුණේ හැව්ලොක් පාක් රග්බි ක්‍රීඩාංගණයේ දීයි. 

ජනිදු විජේරත්න 8 වැනි මිනිත්තුවේ දී පළමු ඩී. එස් උත්සාහක දිනුම රැස් කරන්නට සමත් වූ අතර ඊට මිනිත්තු කිහිපයකට පසුව ඔහු සිය දෙවැනි උත්සාහක දිනුමත් රැස් කරගත්තා. 

රෙනුජ රුසර උත්සාහක දිනුමක් සමඟින් මහානාම විද්‍යාලය වෙනුවෙන් නැවතත් සටනට පිවිසෙද්දී, වීරකෝන් ඩී. එස් සේනානායක විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුමක් සමඟ පළමු අර්ධය අවසන් කළා. 

දෙවැනි අර්ධයේ දී ඩී. එස් සේනානායක ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් හතරක් රැස් කරගන්නට සමත් වුනා. වීරකෝන් සිය දෙවැනි උත්සාහක දිනුම රැස් කරගනිද්දී, ජනිඳු විජේරත්න සිය තුන්වැනි උත්සාහක දිනුමත් රැස් කළා. මනුල පිරිස් හා රත්නසිරි ද උත්සාහක දිනුම් සමඟින් ඩී. එස් සේනානායක ලකුණු සටහනට පිවිසෙන්නට සමත් වුනා. 

අවසන් ලකුණු තත්වය:  ඩී. එස්. සේනානායක 39 (7T, 2C) – 5 (1T) මහානාම විද්‍යාලය 

පාසල් රග්බි පිටියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ උණුසුමත් ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<