මොරටුවට විත් කරන පානදුර අභියෝගය

326

මොරටු මහා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර 71 වැනි වරට පැවැත්වීමට නියමිත රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 28 සහ 29 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර අවසන්.

මෙවර තරගයේ දී මොරටු විද්‍යාලයීය කණ්ඩායම සුඛිත දෙව්තිළිණ විසින් මෙහෙයවනු ලබන අතර ශ්‍රී සුමංගල විද්‍යාලය, වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ, විශ්ව ලහිරු විසින් මෙහෙයවනු ලබනවා.

1931 වසරේ දී ඇරඹි මෙම ක්‍රිකට් තරග මාලාවේ ශ්‍රී සුමංගල විද්‍යාලය 8 වරක් ජයග්‍රහණය කරන ලද අතර මොරටු විද්‍යාලය 7 වරක් ජයග්‍රහණය කර තිබෙනවා. අනෙකුත් තරග 55 ජය පරාජයෙන් තොරව අවසන් ව තිබෙනවා.

රන් සටන් ඉතිහාසයේ මංගල ජයග්‍රහණය වාර්තා කිරීමේ ගෞරවය මොරටු විද්‍යාලය සතුයි. ඒ 1956 දී ලත් ජයග්‍රහණයත් සමඟින්. ශ්‍රී සුමංගල විද්‍යාලය පළමු වරට රන් කුසලානය දිනා ගන්නේ 1962 වසරේ දී.

දෙවිදුහල් අතරින් අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වන්නේ 2010 වසරේ දී මොරටු විද්‍යාලය ලැබූ ජයග්‍රහණයයි. ඒ අනුරුද්ධික කල්හාරගේ නායකත්වයෙන් යුක්තවයි. ශ්‍රී සුමංගල විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණය කරන්නේ ඉරේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් යුක්තව 2007 වසරේ දී.

මොරටු මහා විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ Tier B කාණ්ඩය නියෝජනය කරමින් තරග බිමට පිවිසි මොරටු මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ එහි දී තරග 8ක් ක්‍රීඩා කරනවා. එම තරග අතරින් තරග 4ක ජයග්‍රහණ හිමිකර ගන්නා ඔවුන් එක් තරගයක් නිමා කරන්නේ ලකුණු සම වීමෙන්. සෙසු තරග ත්‍රිත්වය නිමා වෙන්නේ පරාජිත තරග ලෙසයි.

කණ්ඩායම ඒ දක්වා ඉදිරියට ගෙන යෑමේ දී නායක සුඛිත දෙව්තිළිණ වැදගත් මෙහෙවරක නිරත වුනා. ඔහුට අමතරව දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරින් කැපී පෙනෙන මෙහෙවරක් කළේ ඉසුරු ප්‍රනාන්දු. ඔහු තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව ලබා ගත් ශතකයක් සමඟින් ලකුණු 700 සීමාවට ළඟා වෙමින් ලකුණු ලබා ගත්තා.

මොරටු විද්‍යාලයීය ඉනිම් හැඩ ගැන්වීමේ දී විහඟ නිම්සර, රසිඳු ඉලුක්ශාන්, මලිත් රූපසිංහ, දෙනෙත් සිතුමිණ සහ කවිෂ්ක ඔෂාන් සුවිශේෂී මෙහෙවරක් කළා.

පන්දු යැවීමේ දී පසුගිය වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී හොඳම පන්දු යවන්නා ලෙසින් සම්මාන ලැබූ මලිත් රූපසිංහ මෙවර ද තම කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ දක්ෂතා නොපැකිළිව මුදා හැරියා.

ඊට අමතරව ඉසුරු ප්‍රනාන්දු, මලිත් ෂෙහාන්, මහිත් අප්පුහාමි, සමින්ද ද අල්විස් සහ කවිෂ්ක ඔෂාන් ද පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් ලෙසින් අවධානය දිනා ගත්තා.

  • මොරටු මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; සුඛිත දෙව්තිළිණ (නායක), මහිත් අප්පුහාමි (උපනායක),  දෙනෙත් සිතුමිණ, කවිශ්ක ඔෂාන්, ටී. නිමන්ත, ඉසුරු ප්‍රනාන්දු, වී. නෙත්සර, රසිඳු ඉලුක්ෂන, එස්. සංදේශ්, ටී. එශාන්, එච්. ගජනායක, සමින්ද ද අල්විස්, එම්. මාලිංග, මලිත් ෂෙහාන්, මලිත් රූපසිංහ, විහඟ නිම්සර.
  • නිලධාරීන්; යූ. වී. ගුණරත්න (විදුහල්පති), ඩිල්ශාන් ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය), රුචිර සිල්වා (පුහුණුකරු).

ශ්‍රී සුමංගල විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී දෙවැනි කොටසේ Tier A කාණ්ඩය නියෝජනය කළ ශ්‍රී සුමංගල විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත් වූ කණ්ඩායමක් ලෙසයි මෙවර මහා ක්‍රිකට් තරගයට අවතීර්ණ වන්නේ.

ඔවුන් එම තරගාවලියේ තරග 7කට සහභාගී වූ අතර ඉන් තරග 6ක් ජයග්‍රහණය කරන අතර පරාජය වන්නේ එක් තරගයක දී පමණයි. ඒ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙතින් ලත් පරාජය හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි ගමන වැළකූ නිසායි.

ඔවුන්ගේ ඒ දක්වා වූ ගමනේ දී වඩාත් දක්ෂතා දැක්වූ පිතිකරුවා ලෙසින් හැඳින්විය හැක්කේ දූරංක සිල්වා. ඔහු කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 221ක් සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව ලකුණු 102ක් ලබා ගනිමින් පෑ දක්ෂතා සමඟින් කණ්ඩායමේ වඩාත් විශ්වසනීය පිතිකරු බවට පත්වුනා.

ඊට අමතරව නිමා වූ වසරේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ හොඳම පන්දු රකින්නා ලෙසින් සම්මාන දිනා ගත් ඉමල්ක ප්‍රනාන්දු ද අවධානය දිනා ගත් පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකි. ඔහු නිමා වූ පාසල් ක්‍රිකට් තරග සමයේ දී කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව ලකුණු 188ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ හොඳම ඉනිම බවට ද පත්වුනා.

එමෙන්ම මැදිපෙළ ශක්තිමත් කරන සචිර ඩේමියන් ද ශ්‍රී සුමංගල විද්‍යාලය සතු දක්ෂ පිතිකරුවෙක්. ඔහුගේ දක්ෂතා අතර වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 106ක් සහ මිගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 100ක් ද ඇතුළත්.

ඊට අමතරව කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 104ක් ලබා ගත් කවිඳු ගයාන්, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 151ක් ලබා ගත් ක්‍රිශාන් එරංග සහ මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 113ක් ලබා ගත් විශ්ව ලහිරු ද කැපී පෙනෙන පිතිකරුවන් ලෙසින් ශ්‍රී සුමංගල විද්‍යාලයේ විශ්වාසය දිනා සිටිනවා.

පන්දු යවන්නන් අතරින් වඩාත් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූයේ කණ්ඩායමේ නායක විශ්ව ලහිරු. වමතින් දඟපන්දු යවන විශ්ව ලහිරු මේ දක්වා අර්ධ ශතකයක් කඩුලු ප්‍රමාණයක් ඉක්මවා ලබා ගෙන සිටිනවා.

ඔහු කළුතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 8කට කඩුලු 5ක් දවා ගන්නා අතර ඉන් නොනැවතී දෙවැනි ඉනිමේ දී ලකුණු 13කට කඩුලු  8ක් දවා ගන්නවා. තරගයේ දී ඔහුගේ දක්ෂතාව ලකුණු 21කට කඩුලු 13ක් බවට පත් වෙනවා. ඊට අමතරව ඔහු මීගමුව සාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලකුණු 33කට කඩුල 6ක් දවා ගන්නවා.

ඊට අමතරව පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වූයේ මෙවිඳු කුමාරසිරි. ඔහු ද අර්ධ ශතක ප්‍රමාණයට ආසන්න කඩුලු ප්‍රමාණයක් දවා ගෙන තිබෙනවා. ඒ අතරට ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව  ලකුණු 21කට කඩුලු 7ක් සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව ලකුණු 66කට කඩුලු 6ක් දවා ගනිමින් සුවිශේෂී දක්ෂතා දක්වනවා.

ඔවුන්ට අමතර මන්මිත කහපලආරච්චි, ඉමල්ක ප්‍රනාන්දු සහ බිහඳු සිල්වා ද ශ්‍රී සුමංගල විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දැක්වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ රැදී සිටිනවා.

  • ශ්‍රී සුමංගල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; විශ්ව ලහිරු (නායක), විදූශ පීරිස් (උප නායක), කවිඳු ගයාන්, බිහඳු සිල්වා, සන්දීප දිලූෂ, අකිල වෙදමුල්ල, දුරංක සිල්වා, සචිර ඩේමියන්, ඉමල්ක ප්‍රනාන්දු, මන්මිත කහපලආරච්චි, රසික දිල්ශාන්, සෙනිර ලිත්මින්, නමින් ප්‍රනාන්දු, ක්‍රිශාන් එරංග, මින්දෙව් හංසන, මෙවිඳු කුමාරසිරි, නේක්ෂ ඉද්දමල්ගොඩ.
  • නිලධාරීන්; සිනාල් ද සිල්වා (විදුහල්පතිනි), දීපාල් නවරත්න (සහකාර විදුහල්පති), අවන්ති ලියනගේ (ක්‍රීඩා භාර ආචාරිනි), ප්‍රියංකර නන්දසේන (ක්‍රිකට් භාර ආචාර්ය), ධනුශ්ක චතුරංග (ප්‍රධාන පුහුණුකරු), දිනුක ගොඩකන්ද (සහාය පුහුණුකරු).

Sri Sumangala College

එක්දින තරගය

වාර්ෂික මහා ක්‍රිකට් තරගාවලියට සමගාමීව දෙවිඳුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 30 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාගංණයේ දී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ 30 වැනි වතාවටයි.

මේ දක්වා නිමා වූ තරග 29 අතරින් ශ්‍රී සුමංගල විද්‍යාලය අවස්ථාව 15ක් ද සහ මොරටුව විශ්ව විද්‍යාලය අවස්ථා 11ක දී ජයග්‍රහණය ලබා තිබෙනවා. තවත් තරග 2ක විසඳුම වී ඇත්තේ නොවිසඳුන තරග ලෙසයි.

ගියවර ශූරයන් වූ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය මෙවර තරගයට එක් වෙන්නේ මේ දක්වා නොකඩවා වසර 5ක් එක්දින ශූරයන් බවට පත්ව  සිටීමින්. ඔවුන් එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් ලෙසින් ද ඉතිහාසයට ගත් වෙනවා.

මේ කරුණු කාරණා මේ ලෙසින් වූවත් දිනයේ වැදගත්කම අනුව තරගයේ විසඳුම තීරණය වෙනු ඇතැයි කණ්ඩායම් දෙකේ ම විශ්වාසයයි.

එසේ ගමනේ යෙදෙන ශ්‍රී සුමංගල විද්‍යාලයීය කණ්ඩායමට සහ මොරටු විද්‍යාලයීය කණ්ඩායමට මෙරට ප්‍රමුඛතම ක්‍රීඩා පුවත් අවකාශය වන ThePapare.com වෙතින් උණුසුම්  සුබ පැතුම්!

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<