රෝහිත් ගැන රයිනාගෙන් අනාවැකියක්

1442

ඉන්දීය සුපිරි පිතිකරු රෝහිත් ශර්මා ඉන්දියාවේ මීලඟ දෝනි වනු ඇතැයි සුරේෂ් රයිනා පවසා තිබේ. 

ලෝක ටෙස්ට් ශුරතාවයට මොකද වෙන්නේ?

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් තරග අතරතුර සහ ඉන් පිටත දී රෝහිත් ශර්මා දක්වන නායකත්ව ගුණාංග පිළිබඳව අදහස් දක්වමින්  සුරේෂ් රයිනා මේ බව පවසා ඇත.

“මම හිතනවා ඔහු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඊළඟ මහේන්ද්‍ර සිං දෝනි බවට පත්වේවි කියලා.” Super over podcast වෙත අදහස් දක්වමින් රයිනා පැවසීය.

“මම ඔහුව දැකලා තියෙනවා. ඔහු කලබල නැති කෙනෙක්. සන්සුන් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ඇහුම්කන් දෙන්න කැමතියි. ක්‍රීඩකයන්ට අවශ්‍ය ධෛර්යය ලබා දෙන්න ඔහු කැමතියි. ඒ වගේම විශේෂයෙන් ඔහු ඉදිරියෙන් ඉඳලා කණ්ඩායම මෙහෙය වන්න කැමති කෙනෙක්. කණ්ඩායමේ නායකයෙක් ඉස්සරහින් ඉඳලා කණ්ඩායම මෙහෙය වනවා වගේම ක්‍රීඩකයන්ට ඇහුම්කන් දෙනවා නම් ඕනෑම කෙනෙක් දන්නවා ඔහු තුළ හොඳ නායකයෙක් වෙන්න අවශ්‍ය සියලු ගුණාංග තියෙනවා කියලා.” 

රෝහිත්ගෙන් මම දකින විශේෂ දෙයක් තමයි ඔහු හිතන්නේ අනික් ක්‍රීඩකයන් හැමෝමත් නායකයන් කියලා. මම ඔහු ක්‍රීඩා කරනවා දැකලා තියෙනවා. ඒ වගේම අපි බංග්ලාදේශයේ දී ආසියානු කුසලානය ජයග්‍රහණය කරද්දී මම ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. මම දැකලා තියෙනවා ඔහු නවක ක්‍රීඩකයට ධෛර්යය ලබා දෙන හැටි. විශේෂයෙන් ශාර්දුල් ඨාකූර්, වොශින්ටන් සුන්දර් වගේම යුස්වේන්ද්‍ර චාහල් ට. 

ඉන්දීය ආරම්භ පිතිකරු ලෙස වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුළ ශර්මා හිමිකර ගෙන ඇති ස්ථානය අසමසමය. නායකයෙකු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසය තුළ වඩාත් සාර්ථකම නායකයා වන ශර්මා, තමා නායකත්වය දැරූ වසර 8ක කාලය තුළ සිව් වරක්  තරගාවලියේ ශූරතාවය දක්වා කණ්ඩායම මෙහෙය වීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ තරග 100කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා නායකත්වය දරමින් වැඩිම ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කරගෙන ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනි ය. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිකර ගෙන සිටින රෝහිත් ශර්මා, තරග 104කට නායකත්වය ලබා දෙමින් ඉන් තරග 60ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. එහි ප්‍රතිශතය 58.65% කි.

මතිවානන් හැර ගිය පුටුව වෙනත් අයෙක්ට

වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා වන විරාට් කෝලි නොමැති අවස්ථාවන් වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙය වීමේ වගකීම පැවරෙන්නේ රෝහිත් ශර්මා හටය.

එක්දින තරග 10ක් සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දරා ඇති ශර්මා, ඉන් තරග 8ක දී ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහයවා ඇත. ශර්මාගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 19ක් අතුරින් තරග 15ක් ජයග්‍රහණය කිරීමට සමත් විය.

රෝහිත් ශර්මාගේ නායකත්වයේ උච්ඡතම අවස්ථාන් ලෙස 2018 වසරේ ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම සහ එම වසරේම පැවති නිදහස් කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම සැලකිය හැක.

“ඔහුගේ නායකත්වයත් එක්ක ක්‍රීඩකයන් තරග රටාව භුක්ති විඳිනවා කියලා මම හිතනවා. ක්‍රීඩකයන් ඔහුගේ නායකත්ව ගුණාංග එක්ක හොඳින් ක්‍රීඩා කරනවා. රෝහිත් ඔහුගේ නායකත්වය එක්ක අනික් ක්‍රීඩකයන් ධනාත්මකව හිතන්න පුරුදු කරනවා. මම දන්නවා ඔහු ඒකට දක්ෂයි.” යනුවෙන් රයිනා පැවසීය.

මහේන්ද්‍ර සිං දෝනි කියන්නේ විශිෂ්ට නායකයෙක්. ඒත් රෝහිත් දෝනිට වඩා වැඩි ප්‍රිමියර් ලීග් කුසලාන ගණනක් ජයග්‍රහණය කළා. මම හිතන්නේ ඔවුන් දෙදෙනා ගොඩක් සමාන නායකයන් දෙන්නෙක්. ඔවුන් දෙදෙනාම නායකයන් විදිහට අනෙක් ක්‍රීඩකයන්ට ඇහුම්කන් දෙන්න කැමතියි.”  

ක්‍රීඩකයන් විදිහට අපි දන්නවා නායකයා ක්‍රීඩකයන්ට ඇහුම්කන් දෙනවා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. නායකයාට පුළුවන් ඒකෙන් ක්‍රීඩකයන්ගේ මානසික ප්‍රශ්න ගොඩක් විසඳන්න. මගේ මතය අනුව රෝහිත්, දෝනි දෙන්නම විශිෂ්ට නායකයන් දෙන්නෙක්. 

මෙම podcast  වැඩසටහනේ දී තම ක්‍රිකට් අනාගතය පිළිබඳව ද සුරේෂ් රයිනා අදහස් දක්වා සිටියේය.

එහිදී ඔහු නැවත ඉන්දීය කණ්ඩායමට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටිනවා ද යන්නට පිළිතුරු ලෙස රයිනා පවසා සිටියේ ඔහු ඔහුගේ ක්‍රීඩාවට බොහෝ සෙයින් ඇළුම් කරන බැවින් නැවතත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිවන්නේ නම් එයට තමා බොහෝ කැමති බවයි.

“ඇත්තටම මට දැනෙනවා මට තවත් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා.” රයිනා පැවසීය.

“මගේ ආබාධයන් එක්ක කරපු හැම ශල්‍යකර්මයකින්ම පස්සේ මට දැනුනා මම වෙනස් කෙනෙක් කියලා. විවේක ගැනීමේ ක්‍රියාවලියේ දී ක්‍රීඩාවෙන් ඉවත් වෙලා ඉන්න එක ගොඩක් අමාරු දෙයක්. ඒක ඕනෑම ක්‍රීඩකයෙක් දන්නවා. ඒත් හැම සැත්කමකින්ම පස්සේ මම පෙර හිටියට වඩා ශක්තිමත් වුනා. ඒ හැම වෙලාවකම මම නැවත ක්‍රීඩා කරයි කියලා මට හිතුනා. මට බලෙන් කණ්ඩායමට එන්න අවශ්‍ය නැහැ. ඒත් මට තවමත් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා මට දැනනවා. ඒත් වැදගත්ම දේ මම මගේ ක්‍රිකට් ක්‍රීඩාව රසවිඳින්න ඕනේ. ගතවූ වසර කිහිපයේ දී මම එතරම් ආසාවෙන් නෙමෙයි ක්‍රීඩා කළේ.”  

උමාර් අක්මාල්ගේ දඬුවම ලිහිල් කරයි

“ඊළඟ වසර 3 හෝ 4 මගේ ක්‍රීඩා දිවියේ තීරණාත්මක කාලයක් වේවි. සමහරවිට මම ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා. ඒක මගේ දෛවය. ඒත් මට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩාංගණයට ගිහින් හිනාවෙලා මගේ ක්‍රීඩාව රසවිඳින්න. පිතිකරණය වගේම පන්දු රැකීමත් ආසාවෙන් කරන්න ඕනේ. ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙද්දී ගොඩක් වාණිජකරණය වෙලා තියෙනවා. ඒත් දවස අවසන් වෙද්දී ඒ හැමදේටම වඩා වටින්නේ මානසික තෘප්තිය. මම ඒ දේ තමයි වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මම තරගයට ගිහින් ආයෙත් එද්දී මට සතුටින් ඉන්න ඕනේ. මට ආසයි ඒ දේ ආයෙත් කරලා බලන්න.” රයිනා තවදුරටත් පවසා සිටියේය.

මේ වන විට 33 හැවිරිදි වියේ පසුවන සුරේෂ් රයිනා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට පිවිසියේ 2005 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායට එරෙහිව පැවති තරගයක දීය. ඉන් වසර 5කට පසු ටෙස්ට් කණ්ඩායමට පිවිසෙන සුරේෂ් රයිනා, අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළේ 2018 වසරේ දීය.

ටෙස්ට් තරග 19කට, එක්දින තරග 226කට සහ විස්සයි විස්ස තරග 78කට ක්‍රීඩා කර ඇති රයිනා ටෙස්ට් ලකුණු 768ක්, එක්දින ලකුණු 5615ක් සහ විස්සයි විස්ස ලකුණු 1605ක් වාර්තා කර ඇත.

ESPNCRICINFO ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<