උමාර් අක්මාල්ගේ දඬුවම ලිහිල් කරයි

218

පාකිස්තාන සුපිරි ක්‍රීඩක උමාර් අක්මාල්ට පසුගිය අප්‍රේල් මාසයේ දී පැනවූ වසර 3ක තරග අඩු කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ අභියාචනා කමිටුව තීරණය කර තිබේ. 

පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩකයෙකු මෙන්ම පිතිකරුවෙකු ද වන උමාර් අක්මාල් ඔහුගේ අභියාචනයට කරුණු දැක්වීම සඳහා ලාහෝර් හි පැවති නඩු විභාගයට සහභාගී පසුගිය සතියේ දී සහභාගී විය. 

උමාර් අක්මාල්ගේ වසර 3ක තරග තහනම පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ අතර එය එළඹෙන 2023 වසරේ පෙබරවාරි මාසය දක්වා බලපැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් මෙම සංශෝධනයට අනුව එය 2021 වසරේ අගෝස්තු මාසයේ දී අවසන් වනු ඇත.

අක්මාල්ගේ දැඩි දඬුවම ගැන ක්‍රිකට් ආයතනය හේතු කියයි

ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උමාර් අක්මාල් පවසා සිටියේ මෙම තරග තහනම තවදුරටත් අඩු කර ගැනීම සඳහා නැවත වරක් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවයි.

2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට පෙර අක්මාල්ට යොමු වූ තරග පාවාදීමේ යෝජනා හා දූෂණ ප්‍රවේශයන් පිළිබඳ තොරතුරු බලධාරීන්ට වාර්තා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මේ වසරේ අප්‍රේල් මාසයේ දී සියලුම ක‍්‍රිකට් තරග සඳහා බලපැවැත්වෙන තරග තහනමක් පැනවීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී කමිටුව තීරණය කළේය. 

දූෂණ විරෝධී කමිටුව විසින් සිදු කළ පළමු  පරීක්ෂණයට අදාළ නඩු විභාගයේ දී  පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් තමාට එරෙහිව එල්ල කරන ලද චෝදනා උමාර් අක්මාල් විසින් පිළිගෙන තිබුණි. නමුත් ඔහු කරුණු පෙන්වා දුන්නේ එම ප්‍රවේශයන් හා යෝජනා ක්‍රිකට් මණ්ඩලයට වාර්තා කිරීමට තරම් ප්‍රබල ඒවා නොවූ බවයි. කෙසේ වෙතත් එම සියලු කරුණු සලකා බැලූ පාකිස්තාන ක්‍රිකට් ආයතනය උමාර් අක්මාල්ට විරුද්ධ සෑම චෝදනාවක් සඳහාම සමගාමීව ක්‍රියාත්මක වන වසර තුනක පූර්ණ තරග තහනමක් පැනවීය.

එම තීන්දුව ලබා දීමෙන් පසුව මැයි මාසයේ දී අක්මාල් මෙම තහනමට එරෙහිව නිල අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනයේ මූලික අරමුණ වූයේ ඔහුට පනවා ඇති තහනමේ කාලය අභියෝගයට ලක් කරමින් එය අඩු කර ගැනීම බව උමාර් අක්මාල් පවසා තිබුණි.

IPL කණ්ඩායම් හිමිකරුවන්ගේ ගැටලුවට BCCIයෙන් උත්තර

ඔහුගේ අභියාචනයේ මූලික පදනම වූයේ මීට පෙර අක්මාල්ට සමාන වැරදි කළ ක්‍රීඩකයින්ට ඔහුට වඩා ලිහිල් සම්බාධක පැනවූ බවයි. ඒ සඳහා සාක්ෂි වශයෙන් ඔහු පවසා සිටියේ 2017 වසරේ දී එවැනිම සිදුවීමක් සම්බන්ධයෙන් වැරදිකරු වූ මොහොමඩ් ඉර්ෆාන් හට මාස 6ක තහනමක් පැනවූ බවයි. එයට අමතරව තවත් සිදුවීමක් සඳහා වැරදිකරු වූ මොහොමඩ් නවාස් හට මාස දෙකක තහනමක් ලබා දුන් බවත් අක්මාල් සඳහන් කළේය. 

එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියේ නඩු විභාගය අතරතුර හා තීන්දුව ලබාදීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පසුතැවිල්ලක් පෙන්වීමට උමාර් අක්මාල් අපොහොසත් වීම නිසා ඔහුට දැඩි දඬුවමක් ලබා දීමට තමන් කටයුතු කළ බවයි. 

“මගේ නීතීඥයන්ට නිසි ලෙස ඇහුම්කන් දුන්න එක ගැන මම විනිසුරුවරයාට ස්තූතිවන්ත වෙනවා” යැයි අක්මාල් නඩු විභාගයෙන් පසුව පැවසීය.

“ඉතිරි දඬුවම පිළිබඳවත් මම තවත් අභියාචනයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දඬුවම තවදුරටත් අඩු කර ගන්න මම උත්සාහ කරනවා. මේ වෙද්දී තියන තත්ත්වය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. මේ නඩුව ඉදිරියට කරගෙන යන්නේ කොහොමද කියලා මගේ නීතිඥයන්ගෙන් වගේම පවුලේ අයගෙන් අහන්න ඕනේ. මට කලින් වැරදි කරපු බොහෝ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන්ට මට තරම් දඬුවම් ලැබුණේ නෑ. මට ලැබුණ දඬුවම අසාධාරණයි. මට දැන් කියන්න තියෙන්නෙ එපමණයි. ඔබ සියලු දෙනාටම ස්තූතියි.”

අක්මාල් පළමු පරීක්ෂණයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ චෝදනාවලට එකඟ වූයේ නැත. ඒ වෙනුවට ඔහුගේ නිර්දෝෂීභාවය සඳහන් කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. 

ගැටලු කිහිපයක් නිසාවෙන් IPL හිමිකරුවන් කනස්සල්ලෙන්

ඉන් අනතුරුව මෙම නඩුව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ස්වාධීන විනය කමිටුවේ සභාපති වෙත යොමු කල අතර එහි දී පැවැත්වූ නඩු විභාගයක දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය හා උමාර් අක්මාල් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව වසර තුනක තහනමක් ලබා දීමට තීරණය විය.

උමාර් අක්මාල් හට මූලික දඬුවම් ලබා දුන් කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික විනිසුරුවරයෙකු වූ ෆසාල්-ඊ-මිරාන් චෞහාන් පවසා සිටියේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පිහිටුවා ඇති දූෂණ විරෝධී කමිටුව වෙත මෙම කරුණු වාර්තා නොකිරීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කිරීමට අක්මාල් අපොහොසත් වූ බවයි. 

උමාර් අක්මාල්ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් පලකිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කර නොමැත.

ESPNcricinfo වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<