Yadav නැවතත් ඉන්දියාවට; සංචිතයේ වෙනසක්

289
T Natarajan added to test squad

ඉන්දීය ඕස්ට්‍රේලියා තුන්වැනි ටෙස්ට් තරගය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතයේ වෙනසක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දෙවන ටෙස්ට් තරගය අතරතුර ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක Umesh Yadav ආබාධයකට ලක්වීම නිසා ඔහු තරගයෙන් ඉවත් විය.

ඉන්දීය වේගපන්දු බලඇණියට Yadavගේ අහිමි වීම විශාල බලපෑමක් කිරීමට හේතු වූයේ ඔවුන්ගේ ප්‍රධාන පන්දු යවන්නන් වූ Mohammed Shami සහ Ishant Sharma ද තරගාවලිය සඳහා සහභාගී නොවීම නිසාවෙනි.

දෙවන ටෙස්ට් තරගය සඳහා ඉන්දීය වේගපන්දු බලඇණියේ වැඩි වගකීමක් Jasprit Bumrah හට පැවරී තිබූ අතර අනෙක් වේගපන්දු යවන්නා වූයේ සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ Mohammed Siraj ය.

දෙවන ටෙස්ට් තරගය අතරතුර සිය පාදයේ මාංශපේෂී ඉරීයාමක් නිසා Umesh Yadav තරගාවලියෙන් ඉවත්ව ඇති බවත්, ඔහු ඉදිරි දිනවල දී නැවත ඉන්දියාව වෙත පැමිණීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Yadavගෙන් හිස්වූ ස්ථානය සඳහා Thangarasu Natarajan ඉන්දීය සංචිතය සමඟින් එක්වීමට වැඩි ඉඩක් ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසා ඇත. T. Natarajan ඉන්දීය ජාතික කණ්ඩායමට පිවිසියේ ඕස්ට්‍රේලියා සංචාරයේ දී වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් බොහෝ දෙනා පවසා සිටියේ තුන්වැනි ටෙස්ට් තරගය සඳහා T. Natarajanට වඩා Shardul Thakur කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇති බවයි.

ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ තුන්වැනි ටෙස්ට් තරගය එළඹෙන ජනවාරි 7 වැනිදා සිඩ්නි හිදී ආරම්භ වීමට නියමිතය.

“ගොඩක් අය Natarajanගේ දක්ෂතා ගැන කතා කරනවා. ඒත් අපිට අමතක කරන්න බැහැ ඔහු මීට කලින් ටෙස්ට් තරග ක්‍රීඩා කරලා නැති එක. ඔහු තමිල්නාඩු කණ්ඩායමේ පළමු පෙළ එක් තරගයක් විතරයි ක්‍රීඩා කරලා තියෙන්නේ. අනෙක් අතින් Shardul Thakur මුම්බායි කණ්ඩායමේ නිත්‍ය ටෙස්ට් වේගපන්දු යවන්නෙක්” ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු PTI වෙත පවසා තිබේ. 

“Shardulගේ පළමු ටෙස්ට් තරගය අවාසනාවන්ත එකක් වුනා. බටහිර ඉන්දීය කොදෙව් තරගයේ දී ඔහු පන්දු යවන්න කලින් ආබාධයකට ලක්වුනා. ඒත් ඔහු දැන් නියම යෝග්‍යතාවකින් ඉන්නවා. ඔහු Umesh Yadav වෙනුවට ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වෙන්න ලොකු ඉඩක් තියනවා.” 

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් ආදේශක ක්‍රීඩකයා පිළිබඳව අවසන් තීරණය ඉන්දීය ප්‍රධාන පුහුණුකරු Ravi Shastri, වත්මන් ඉන්දීය ටෙස්ට් නායක Ajinkya Rahane සහ පන්දු යැවීමේ පුහුණුකරු වන Bharath Arun විසින් ගැනීමට නියමිතය. ඔවුන් සිඩ්නි වෙත ළඟා වූ පසු එහි තත්ත්වය අනුව මෙම තීරණය ගනු ඇත. 

Shardul Thakur ඉන්දීය පළමු පෙළ තරග 62කට ක්‍රීඩා කර ඇති අතර එහි දී කඩුලු 206ක් දවාගෙන තිබේ. 

නිමා වූ ටෙස්ට් තරග ද්විත්වයේ දී ම ඉන්දීය පසුපෙළ ක්‍රීඩකයන් ඉක්මනින් දැවී ගිය අතර ආදේශක ක්‍රීඩකයා තෝරාගැනීමේ දී මෙම කරුණ ද සලකා බැලෙනු ඇත. පසුපෙළ අසාර්ථකත්වය ඉන්දීය කණ්ඩායම තරමක පසුබෑමකට ලක් කිරීමට සමත් විය. Shardul Thakur පළමු පෙළ තරගවල දී අර්ධ ශතක 6ක් වාර්තා කර ඇති අතර ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ සීමිත පන්දුවාර තරගවල දී ඔහු ඵලදායී පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වීමට සමත්ව තිබේ. 

“මම හිතනවා ඊළඟ පුහුණු සැසි කීපය තීරණාත්මක වේවි මේ ක්‍රීඩකයන් දෙදෙනාටම. ඒ සැසිවල දී ඔවුන් පන්දු යවන ආකාරය අනුව අවසන් ක්‍රීඩකයා තෝරාගන්න කණ්ඩායම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ නිසා ඔවුන් සිඩ්නි වෙත යනතුරු ඒ ගැන තහවුරු කරන්න හැකියාවක් නැහැ” අභ්‍යන්තර ආරංචි මාර්ග තවදුරටත් පවසා තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළ ආකාරයට Umesh Yadav නැවත ඉන්දියාවට පැමිණි වහාම බැංගලෝර්හි පිහිටා ඇති ජාතික ක්‍රිකට් ඇකඩමියට යාමට නියමිතව ඇති අතර එහි දී ඔහුගේ ඉදිරි ප්‍රතිකාර සහ සෙසු පුහුණුවීම් සිදු කිරීමට නියමිතය.

පසුගිය 26 වැනිදා ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ දී Umesh Yadav මෙලෙස ආබාධයකට ලක්වූ අතර ඉන් අනතුරුව ඔහු තරගයෙන් ඉවත් විය.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තරග 4ක් ඇතුළත් වන අතර ඉන් තරග දෙකක් මේ වන විට අවසන් වී තිබේ. 

පළමු ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය හිමි වූයේ ඉන්දීය කණ්ඩායමටයි.

Hindustan Times ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<