නවසීලන්තයේ ඕස්ට්‍රේලියා සංචාරය කල් යයි

නවසීලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරය 2022

1322

කොරෝනා වසංගතය නිසාවෙන් නවසීලන්තයේ පනවා ඇති නිරෝධායන නීති සැලකිල්ලට ගනිමින් මෙම මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය දින නියමයකින් තොරව කල් දැමීමට ක්‍රිකට් පාලක මණ්ඩල තීරණය කර තිබෙනවා.

එම නීතිවලට අනුගත වෙමින් තරගාවලියේ දින දීර්ඝ කරමින් නවසීලන්තයට අපහසුවකින් තොරව සිය මව් රටට පැමිණීමට හැකි අවස්ථාවක දී පැමිණීමට දෙරට ක්‍රිකට් පාලක මණ්ඩල විසින් යෝජනා කර තිබූ නමුත් තමන්ට එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව නවසීලන්ත රජය දන්වා තිබුණා.

දෙරට අතර එක්දින තරග තුනකින් සහ විස්සයි විස්ස තරගයකින් යුත් තරගාවලියක් ජනවාරි 24 සිට පෙබරවාරි 09 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් මෙම කල් දැමීමෙන් පසුව එය නැවත පැවැත්වීමට හැකි දිනයක් පිළිබඳව සාකච්ඡා කරමින් පවතිනවා.

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක නිලධාරි Nick Hockley ප්‍රකාශ කර සිටියේ,

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලිය සැලසුම් කළ දිනවලට පවත්වන්න නොහැකි වීම ගැන අපි ඇත්තටම කනගාටු වෙනවා. නමුත් අපි මෙම තරගාවලිය නැවත පවත්වන්න නවසීලන්ත ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින්නේ.

මෙම තරගාවලියේ කෙසේ හෝ පවත්වන්න ගත්ත උත්සහය ගැන අපි නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුතිය පුද කර සිටිනවා. කෙසේ නමුත් ඔවුන්ට නැවත මව් රටට යාමේ දී නිරෝධායන විධිවිධාන පිළිබඳව නිශ්චිතභාවයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා මෙම තරගාවලිය පැවැත්වීමට හැකියාවක් නැහැ.

මෙම සිදුවීමෙන් රසිකයන් කලකිරීමට පත්වන බව අප දන්නා නමුත් මෙම ගෝලීය වසංගතය පිළිබඳව අවබෝධ කර ගනිමින් දක්වන සහයෝගය පිළිබඳව ඔවුන්ට අපේ ස්තූතිය පුද කරනවා.

අපි ලබන මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පිළිගැනීමට බලාපොරොත්තු වෙන අතර එම තරගාවලියේ කාලසටහන ඉක්මනින් ප්‍රකාශයට පත්කිරීමට සූදානම්”.

මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරි David White ප්‍රකාශ කළේ,

අපි දන්නා පරිදි කොරෝනා වසංගතයේ Omicron ප්‍රභේදය පැමිණීම නවසීලන්ත රජයේ තීරණ වෙනස් කිරීමට හේතුවක් වුනා. එම ප්‍රතිඵලයක් ලෙස නවසීලන්තයට පැමිණෙන සියලූම දෙනා දින 10ක දැඩි නිරෝධායන ක්‍රියාවලියකට යටත් විය යුතුයි.

අපි (නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කර තරගාවලියේ දින දීර්ඝ කරමින් තරගාවලිය නැවත පැමිණීමේ දින ප්‍රමාද කිරීමට කර නිශ්චිත දිනයක් සැලසුම් කිරීමට තීරණය කළත්, එය පිළිබඳව ද සහතික වීමට නොහැකි බව රජය අද උදෑසන දන්වා සිටියා”.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<