පාකිස්තානය දින්නේ මෙහෙමයි!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

794

ඊයේ (09) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු හතක ජයග්‍රහණයක් ලබමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුනා. ඔවුන් මෙසේ ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ වසර 13කට පසුවයි.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ දී දහස් සංඛ්‍යාත පාකිස්තාන ප්‍රේක්ෂකයින් මධ්‍යයේ නවසීලන්ත කණ්ඩායමට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටීමට Babar Azam ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම සමත් වුනා.

එම තරගයේ දී නවසීලන්තය විසින් ලබා දුන් ලකුණු 153ක ඉලක්කය පන්දු පහකුත්, කඩුලු හතකුත් ඉතිරිව තිබිය දී හඹා යාමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, එම තරගයේ ජය පාකිස්තානය දෙසට හැරවීමට හේතු වූ ප්‍රධානතම කරුණු පහතින් දැක්වෙනවා,

පවර්ප්ලේ ඕවර හයේ දී නවසීලන්තය ලබා ගත් අසාර්ථක ආරම්භය

තරගයේ ජයග්‍රහණයට පැහැදිලි බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කළ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායක Kane Williamson විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, පාකිස්තාන වේගපන්දු යවන්නන් විසින් එම තීරණය සාර්ථක ලෙස අභියෝගයට ලක් කිරීමට සමත් වුනා.

පළමු පන්දු වාරයේ දී ම නවසීලන්තයේ ප්‍රහාරාත්මක පිතිකරු Finn Allenව දවා ගැනීමට Shaheen Afridi සමත් වූ අතර, ඉන්පසු Devon Conway සමඟ පිටියේ එකතු වූ නායක Williamson විසින් පිටියේ ස්ථාවර වීමට උත්සාහ කළත් පවර් ප්ලේ හී අවසන් පන්දුවේ දී ලකුණක් සඳහා දිව යමින් සිටි Conway ව දුවද්දී දවා ගැනීමට Shadab Khan විසින් සමත් වුනා.

පවර් ප්ලේ පන්දුවාර හයේ දී කඩුලු දෙකක් බිඳ වැටීම මගින් නවසීලන්තය තරගයේ මුල සිටම පීඩනයට හසු වුනා.

Glenn Phillipsගේ දැවී යාම

ශතකයක් සහ අර්ධ ශතකයක් පෙර තරගවල දී ලබා ගැනීමත් සමඟින් තරගාවලියේ සාර්ථකම නවසීලන්ත පිතිකරු ලෙස වැජඹුණු Glenn Phillips අවසන් පූර්ව තරගයේදී අසාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් Mohammad Nawazගේ පන්දුවක් හමුවේ ලකුණු 6කට දැවී ගියේ තරගයේ 8 වැනි පන්දුවාරයේ දී වන අතර, ඒ වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව 49/3ක් ලෙස සටහන් වී තිබුණා.

ඉන්පසුව නායක Williamson සහ නවක පිතිකරු Daryl Mitchell විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට සමත් වූව ද, ඔවුන් දෙදෙනාටම ලකුණු පහසුවෙන් රැස් කිරීමට කිසිම විටෙක පාකිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ නිසාවෙන් තරගයේ 17 වැනි පන්දුවාරයේ දී Williamson ලකුණු 46කට දැවී යද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව සටහන් වී තිබුණේ ලකුණු 117ක් ලෙසයි.

පාකිස්තානයේ විශිෂ්ට පන්දු යැවීම

පාකිස්තාන නායකයා විසින් තරගයේ දී පන්දු යවන්නන් 6 දෙනෙකු භාවිතා කළ අතර ඔවුන් සියලුම දෙනාම නවසීලන්ත පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක පහසුවෙන් ලකුණු කරා යා නොදි පීඩනය වැඩි කිරීමට සමත් වුනා. ඔවුන්ගේ බොහෝ පන්දු යවන්නන්ගේ ලකුණු ලබා දීමේ වේගය 7.5ට වඩා අඩුවෙන් තබා ගැනීම ඊට හොඳ නිදසුනක්.

කඩුලු ලබා ගැනීමේ දී Shaheen Afridi සහ Mohammad Nawaz අතරේ පමණක් නවසීලන්ත කඩුලු බෙදී ගිය නමුත්, සියලුම දෙනා තමන්ගේ සැලැස්මට අනුව පන්දු යැවීමට සමත් වුනා. නවසීලන්තය වෙනුවෙන් Daryl Mitchell විසින් ලබා ගත් අර්ධ ශතකය නිසා කෙසේ හෝ නවසීලන්තය ලකුණු 150 සීමාව පසු කර යෑමට සමත් වුනා.

 Babarගේ සහ Rizwanගේ ශතක සම්බන්ධතාවය

තරගාවලිය පුරාවටම ලකුණු අතර රැඳීමට නොහැකිව සිටි පාකිස්තාන ආරම්භක පිතිකරුව දෙදෙනා වන Babar Azam සහ Mohammad Rizwan විසින් මෙවර නවසීලන්තය හමුවේ ශතක සම්බන්ධතාවයක් පවත්වමින් තරගයේ වාසිය නවසීලන්තය දෙසින් ඈත් කිරීමට සමත් වුනා.

පළමුව Rizwan විසින් නවසීලන්ත වේගපන්දු යවන්නන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර, පසුව එයට Babar ද හවුල් වුනා. ඔවුන්ගේ එම ප්‍රහාරය නිසා පවර් ප්ලේ පන්දුවාර හය අවසන් වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව ලකුණු 55ක් ලෙස දිස් වුනා.

ඉනිමේ 12 වැනි පන්දුවාරයේ දී ඔවුන්  සිය ශතක සම්බන්ධතාවය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, 13 වැනි පන්දුවාරයේ දී Babar සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව දැවී ගියා.

ඉන් පසුවත් කඩුල්ලේ රැඳී සිටි Mohammad Rizwan ලකුණු 57කට දැවී ගියේ තරගයේ 17 වැනි පන්දුවාරයේ දීයි. ඒ වන විට පාකිස්තානයට අවසන් මහා තරගය වෙත යෑමට අවශ්‍ය සියලු කටයුතු  නිසි ලෙසින් සිදුව තිබුණා.

නවසීලන්තයේ දුර්වල පන්දු රැකීම

Babar Azam විසින් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලබා දුන් උඩ පන්දුව Devon Conway අතින් ගිලිහී යාමත් සමඟ ආරම්භ වුනු පාකිස්තාන ඉනිම පුරාවටම උඩ පන්දු තුනකුත්, දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථා දෙකකුත් නවසීලන්තය විසින් මග හැර ගත්තා.

තරගාවලිය පුරාවටම සිටි හොඳම පන්දු රැකීමේ කණ්ඩායමක් වූ නවසීලන්තය ඊයේ දිනය පුරාවටම දැක්වූයේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රීඩා විලාශයක්. තරගයේ ජයග්‍රහණය ඔවුන් වෙතින් ගිලිහී යාමට එය ප්‍රධානතම සාධකය වූ බව නොරහසක්.

මීට අමතර නවක පාකිස්තාන පිතිකරු Mohammad Haris විසින් පන්දු 26කින් රැස් කළ ලකුණු 30 ද තරග ජයග්‍රහණයට පිටිවහලක් වුනා.

ඒ අනුව Iftikhar Ahamad සහ Shaan Masood විසින් ඉනිමේ තවත් පන්දු පහක් ඉතිරිව තිබිය දී පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • නවසීලන්තය – 152/4 (20): (Daryl Mitchell 53, Kane Williamson 46; Shaheen Afridi 2-24)
  • පාකිස්තානය – 153/3 (19.1): (Mohammad Rizwan 57, Babar Azam 53; Trent Boult 2-33)

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<