ඉන්දියාව හඳට ගියත් දෝණි තමයි මාතෘකාව!

432

ඉන්දියාවෙන් හඳට යැවූ චන්ද්‍රයාන්-3 යානය ඊයේ (23) සවස සඳ මතට ගොඩ බැසීමත් සමඟ හිටපු ඉන්දීය නායක MS Dhoni හා සබැඳි වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල හුවමාරු වීමට පටන් ගෙන තිබෙනවා.

ඊයේ දිනය ඉන්දියානුවන්ට අමරණීය මතයක් දායාද කළ දිනයක් ලෙස හඳුන්වා දිය හැකි. සඳ මතට යානයක් යැවූ ලොව සිව්වැනි රට (ඇමරිකාව, චීනය සහ රුසියාවට පසුව) මෙන්ම, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟා වූ ලොව පළමු රට බවට පත් වීමට ද ඉන්දියාව ඊයේ සමත් වුනා.

මෙය ඉන්දියානුවන් අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් කළ මොහොතක් වූ අතර සියල්ලෝ ම පාහේ සිය සතුට එළිපිට ම ප්‍රදර්ශනය කිරීමට ද පැකිළුණේ නැහැ. නමුත් මේ මොහොතේ දී පවා හිටපු ඉන්දීය නායකයා MS Dhoni තමන්ට ක්‍රිකට් ලෝකයෙන් හිමි වූ ගෞරවනීය අන්වර්ථ නාමය වන “Captain Cool” යන්න ක්‍රීඩා පිටියෙන් එළියේ වුව ද තමන්ට ගැළපෙන බව ප්‍රත්‍යක්ෂ කළ බවයි ඉන්දියානුවන් පවසන්නේ.

බහුතරයක් ඉන්දියානුවන්ගේ නොමද ආදරයට සහ ගෞරවයට පාත්‍ර වන Dhoni වැන්නවුන්ගේ සුළු චලනයක් වුව ද ඔවුන්ගේ රසිකයින්ට විශේෂ පුවතක් වීම ඉන්දියාවට සාමාන්‍ය දෙයක්.

මේ නිසාම ඊයේ චන්ද්‍රයාන්-3 සඳ මතට ගොඩ බැසීම Dhoni විසින් සමරන කුඩා වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය වල ප්‍රචලිත වෙමින් පවතිනවා.

මෙම වීඩියෝවේ පෙනෙන්නට සිටින සියල්ලෝ ම සතුටින් අත්පොළසන් දෙමින් මෙම මොහොත සැමරුවත්, Dhoni පමණක් සිය සුපුරුදු හැසිරීම් රටාව සමඟින් ඒ දෙස බලා සිටින අයුරු පෙනෙන්නට තිබුණා.

මෙහි දී ඔහු අන් අය තරම් උද්‍යෝගයක් පිටට නොපෙන්වීමයි අවධානයට ලක් වී තිබෙන්නේ.

මේ අතර MS Dhoniගේ කුඩා දියණිය Ziva ද මෙම මොහොත ඉතා උද්‍යෝගයෙන් යුතුව නරඹන අයුරු දැක්වෙන තවත් වීඩියෝවක් ද දැන් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

සමාජ මාධ්‍යවල ප්‍රචලිත වන මෙම වීඩියෝ පට වෙනුවෙන් ලැබෙන බොහෝ ප්‍රතිචාර වලින් Dhoniගේ කලබලයකින් තොර සුපුරුදු ස්වභාවය ඉස්මතු කිරීමට බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් උත්සාහ කර තිබුණා.

නමුත් තවත් පිරිසක් Dhoniව අනවශ්‍ය ලෙස මෙලෙස උලුප්පා දැක්වීම උපහාසයට ලක් කිරීමට ද පෙලඹී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<