ඩුබායි සිට ජාත්‍යන්තරය සමඟ ඔට්ටු වීමට සැරසෙන ශ්‍රී ලාංකීය අභිමානය

2741

බාධක දිවීමේ තරග ආකෘතියට බොහෝ දුරට සමාන තරග ඉසව්වක් වන Spartan Obstacles තරගය අද (නොවැම්බර් 16) එක්සත් එමීර් රාජ්‍යයේ  Hatta-Oman දේශ සීමාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

බාධක දිවීමේ තරග ආකෘතිය තුළ වඩාත් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක තරගයක් ලෙස මෙම Spartan Obstacles තරගය ඉතිහාසගතව ඇත. කිලෝමීටර 21ක් පුරා මැරතන්, පිහිණුම්, කඳු තරණය ඇතුළු තවත් එළිමහන් ක්‍රීඩා අංග කිහිපයකින් සමන්විත මෙම අභියෝගාත්මක තරගය වෙනුවෙන් කණ්ඩායම් 12ක් මෙවර සුදුසුකම් ලබා සිටී.

මෙම තරග ඉසව්ව නියෝජනය කිරීමට පැමිණෙන විදෙස් කණ්ඩායම් සමඟ ඔට්ටු වීම සඳහා එක්සත් එමීර් රාජ්‍යයේ රැකියාවන් හි නියුතු තරුණයින් 5දෙනෙකු සහ එක් තරුණියෙකුගෙන් සඳුම්ලත් Sri Lankan Blues නමින් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි.

විදේශයක දී මව් බිමේ ධජය ජාත්‍යන්තරය ඉදිරියේ දී රඳවන්නට වෙර දරන මෙම කණ්ඩායම ඩුබායි හී පිහිටි Al-Ahli පාපන්දු ක්‍රීඩා සමාජයේ ගෘහස්ථ කායවර්ධන මධ්‍යස්ථානයේ දී පුහුණු සැසි සඳහා සහභාගී විය.

Sri Lankan Blues කණ්ඩායමේ නායකයා ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය අමල් රමීස් කටයුතු කරයි. ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකා අකිලා ජයවර්ධන සමඟ නුවන් සමීර, තරීක් මෂූඩ්, අම්ජඩ් අෆ්හම් සහ ඉම්‍රි ෆාහීම් යන ක්‍රීඩකයින් මෙම තරගයට සහභාගී වීමට නියමිතයි.

  • Amal Ramees (Captain)
    Amal Ramees (Captain)

“මේක ලොකු අභියෝගයක්. පසුගිය මාස 6ක පමණ කාලයක සිට අපි පුහුණු වීම්වල යෙදෙනවා. අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි මෙම තරගයට සහභාගි වෙන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සමඟ. අපගේ මව්බිම වෙනුවෙන් කීර්තියක් ලබා දෙන්න පුළුවන් නම් ඒක මගේ කණ්ඩායමේ සියලුම දෙනා ලබන්නා වූ විශාල ජයග්‍රහණයක් යැයි මා විශ්වාස කරනවා.” යැයි Lankan Blues නායක අමල් රමීස් පවසයි.

කණ්ඩායමේ එකම කාන්තා නියෝජනය ලෙස අකිලා ජයවර්ධන කටයුතු කරයි. ඇය ජාතික Netball කණ්ඩායමේ හිටපු නායිකාවකි.

“මානසික ඒකාග්‍රතාව පවත්වා ගෙන යාම තමයි වැදගත්. අපි ඉතා විශ්වාසයකින් සහ ක්‍රමවත් සැලැස්මක් අනුව පුහුණු වීම්වල යෙදෙනවා. අළුත් අත්දැකීමක්. රටේ ජාතික ධජය විදේශයක දී නැවතත් නියෝජනය කිරීම පිළිබඳව නිහතමානී ආඩම්බරයක් තියෙනවා.” යැයි අකිලා ජයවර්ධන පැවසීය.

National Air Cargo Dubai, Lankan Blues SC, Dubai Blues, EVAX වැනි එක්සත් එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආයතන Sri Lankan blues කණ්ඩායම වෙත අනුග්‍රාහකත්වය පිරිනමා ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<