“මම කොපි කළේ වනිඳුගෙන්, Neymarගෙන් නෙවෙයි”

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

1994

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව තමන් ලබා ගත් කඩුලු ත්‍රිත්වය කෙතරම් වටිනා එකක් ද යන බව තමන් වටහා ගත්තේ තම පවුලේ අය සමග එකතු වූවාටත් පසුව බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පා දඟපන්දු යවන ක්‍රීඩක Karthik Meiyappan විසින් පවසනවා.

“ඇත්තටම පොඩි කාලයක් ගත වුනා ඒක (කඩුලු ත්‍රිත්වය) මොන තරම් විශිෂ්ට දස්කමක් ද කියලා වැටහෙන්න. පසුගිය අවුරුදු ගණන පුරාවටම මගේ පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා, නැවත ඔවුන් වෙත පැමිණ ඔවුන් ඉදිරියේ ගෞරවනීය විදිහට ඉන්න ලැබීම, මගේ හැඟීම් බෙදා ගන්න ලැබීම සතුටට කාරණයක්.”

ESPN Cricinfo සමඟ Karthik Meiyappan විසින් සිදු කරන ලද සංවාදයක් අතරතුර ඔහු එසේ පවසා තිබුණා.

Karthik Meiyappanගේ පියා වන PL Meiyappan ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමට පෙර ඉන්දියාවේ තමිල්නාඩු ක්‍රිකට් තරගාවලිවලට ක්‍රීඩා කළ පා දඟපන්දු යවන්නකු බවයි Karthik විසින් පවසා තිබුණේ.

“මගේ පියාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න අවශ්‍යතාවය තිබුනත්, ඔහුගේ පවුලෙන් ඒකට අවශ්‍ය සහයෝගය ලැබිලා නැහැ. නමුත් ඔහුට තිබුණු බලාපොරොත්තු මම විසින් ඉටු කරගන්න විදිහ බලාගෙන ඉන්නවා වගේම, මට විශ්වාසයි ඔහු ඒ ගැන තාත්තා කෙනෙක් විදිහට ගොඩක් ආඩම්බර වෙන බවත්.”

පසුගිය ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානකව පිට පිට පන්දු තුනක දී දවා ගනිමින් විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය පුරාවට කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පස්වැනි පන්දු යවන්නා බවට පත් වීමට Karthik Meiyappan විසින් සමත් වුනා.

“ඇත්තටම මම වමත් පිතිකරුවන්ට පන්දු යවද්දී ඔවුන්ගෙන් එළියට පන්දු යවන්නයි උත්සාහ කරේ, මොකද භානුක වගේ පිතිකරුවෙක්ට ඔහුගේ පා ඉන්න පැත්තෙන් විශාල පහරවල් තියෙනවා කියලා මට හිතුණා.

අසලංක පිටියට එද්දී මට හිතුණා ඔහු ඉන්නේ ඒ තරම් හොඳ දක්ෂතා අතර නොවන නිසා මගේ හොඳම පන්දුව ඔහුට යැවිය යුතුයි කියලා.

ශානක පිටියට එද්දීත් මම හිතාගෙන හිටියේ අනිත් දෙන්නට වගේම ඔහුටත් wrong’un පන්දුවක් (ශානකගේ විකට්ටුව තුලට) යැවිය යුතුයි කියලා.”

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Brett Leeගේ පන්දු යැවීමේ ඉරියව්ව අනුකරණය කරමින් වේගපන්දු යවන්නකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ Karthik පසුව වේගපන්දු යැවීම තම සිරුරට නොගැලපෙන බව වටහා ගන්නවා.

“මට පා දඟපන්දු යවන්නෙක් විදිහට ඉතාම පහසුවෙන් ගුග්ලි පන්දුව යවන්න පුළුවන්, ඒ වගේම විස්සයි විස්ස තරග රටාවේ දී ගුග්ලිය තමයි හොඳම ආයුධය වෙන්නෙත්.”

තමන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වීමට පෙර ඉන්දියාවේ තමිල්නාඩුවේ සිටි කාලයේ චෙස් ක්‍රීඩාවට යොමු වී සිටි බවත් ඔහු සිය මතකයට නංවනවා.

“චෙස් ක්‍රීඩාව කියන්නේ මට මගේ පවුලෙන් ලැබුණු දෙයක්, මගේ සීයා, මගේ මාමලා වගේම මගේ තාත්තත් චෙස් ක්‍රීඩා කළා. කොයිම්බතූර් වල හිටපු කාලයේ දී මමත් චෙස් ක්‍රීඩා කළා.”

Karthik විසින් 2019 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට වරම් දිනා ගත් නමුත් ඔහුට එතරම් ස්ථාවර ගමනක් කණ්ඩායම තුල නොතිබුණු බවත්, මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් තෝරා ගැනීමට පැවැත්වුණු තරගවල දී සිංගප්පූරුවට එරෙහිව කඩුලු තුනක් ලබා ගැනීමට හැකි වීමත් සමග තමන්ගේ ක්‍රීඩා ජීවිතයේ වෙනසක් සිදු වූ බවත් ඔහු පවසනවා.

“මම මාසයක් වගේ කාලයකට චෙන්නායි වලට ඇවිත් M Venkataramana සමඟ පුහුණුවීම් වල නිරත වුනා, ඔහු මගේ පන්දු යැවීමේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කළා. මම ලබා ගත්තු කඩුලු ත්‍රිත්වය කේක් එකක් මත දාපු අයිසිං එක වගේ, නමුත් ඒ පිටිපස්සේ ලොකු මහන්සියක් තියෙනවා.”

එමෙන්ම Karthikට IPL තරගාවලියේ දී Royal Challengers Bangalore සහ Chennai Super Kings කණ්ඩායම්වල දැල තුල පන්දු යවන්නකු ලෙස පන්දු යැවීමට අවස්ථාව ලැබුණු අතර එහි දී ඔහුට වනිඳු හසරංග මෙන්ම, ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ වීරයා වන MS Dhoniව ද මුණ ගැසෙනවා.

Shane Warne කියන්නේ මම නිරීක්ෂණය කරමින් හිටපු කෙනෙක්, නමුත් පස්සේ මම වනිඳු ගැන විමසිල්ලෙන් බලාගෙන හිටියා. අපි දෙන්නම පන්දු යවන විදිහ සමාන නිසා මම ඔහුගේ පන්දු යැවීමෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා.

ඊට පස්සේ එක පාරටම මම ඔහු වගේ කඩුලු දවා ගැනීම් සමරන්නත් පටන් ගත්තා, මම ඒ සැමරුම ලබා ගත්තේ වනිඳුගෙන්, Neymarගෙන් නෙවෙයි. ඒ වගේම ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සමඟ තරගයෙන් පස්සේ මම වනිඳුට කිව්වා මම ඔහුගෙන් ඒ සැමරීම කොපි කළා කියලා.

ඒ වගේම අයර්ලන්ත සංචාරයට පෙර (2021 ඔක්තෝබර් මාසයේ දී) මම Chennai Super Kings  කණ්ඩායමේ දැල් පන්දු යවන්නෙක් විදිහට කටයුතු කළා, එහි දී මට MS Dhoniව මුණ ගැසුණා. ඔහු මට උපදෙස් කිහිපයක්ම ලබා දුන්නා.”

මේ අතර Karthik  මේ වන විට අබුඩාබි T10 තරගාවලියට සම්බන්ධ වී සිටින අතර එහි දී දේශීය (එමීර් රාජ්‍යයේ ක්‍රීඩකයින්) සහ අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයින් අතර පාලමක් නිර්මාණය වනු ඇති බව ඔහු විශ්වාස කරනවා.

එමෙන්ම එම තරගාවලිය අතරතුර දසුන් සහ භානුක නැවත මුණ ගැසීමට හැකි වනු ඇති බවට ද ඔහු බලාපොරොත්තු වෙනවා.

“ලෝක කුසලානය ආරම්භ කරන්න පෙර අපිව පිළිගැනීමට දිවා ආහාරයක් සංවිධානය කරලා තිබුණා. එහි දී මට ශානක සහ මහීෂ් තීක්ෂණ මුණ ගැසුණා. නමුත් මට දැන් ශානකව මුණ ගැසුනහම එදා කඩුලු ත්‍රිත්වය ගැන ඔහු එක්ක කතා කරනවා (සිනහා වෙමින්).

ක්‍රීඩාවෙ මෙවැනි නවතම පුවත් ඔබ හා සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<