“මම සියදිවි නහගන්නත් කල්පනා කළා” – නික් කිර්ගියොස්

502
Nick Kyrgios
Courtesy - Eurosport

ටෙනිස් ක්‍රීඩාවේ දඩබ්බරයා ලෙස ඔහුව හැඳින්වූවාට කම් නැහැ. ටෙනිස් වැනි මහත්වරුන්ගේ ක්‍රීඩාවකට ඕස්ට්‍රේලියානු ජාතික නික් කිර්ගියොස්ගේ පැමිණීම එහි ගෝලීය ජනප්‍රියත්වය වැඩි කිරීමට ද හේතු වුනා.

2019 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීමෙන් පසුව තමන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹුණු බව ඔහු එළඹෙන මාසයේ දී එළිදැක්වීමට නියමිත Break Point නම් වාර්තා වැඩසටහනේ දී සඳහන් කළා.

“මම මත්පැන් බොමින්, මත්ද්‍රව්‍ය පාවිච්චි කරමින් හිටියා. මට තරහයි මම හිටපු විදිය ගැන,” ඔහු පැවසුවා. Break Point නමැති වාර්තා වැඩසටහනෙන් අවධානය යොමු කෙරෙන්නේ 2022 විම්බල්ඩන් අවසන් තරගය දක්වා කිර්ගියොස්ගේ දියුණු වීමයි. 2019 තරගාවලියෙන් පසුව ඔහුගේ කඩාවැටීම එහි බරපතළ කොටසක්.

“විම්බල්ඩන් එකේ දී මම පැරදුණා. මම නැගිටිද්දී තාත්තා හොඳටම අඬමින් ඇඳේ ඉඳගෙන හිටියා. ඒක තමයි මට නැවත නැගිටින්න ලොකු දෙයක් වුනේ,” ඔහු පැවසුවා.

“මම හිතුවා, මට මෙහෙම කරමින් ඉන්න බෑ කියලා. මගේ ප්‍රශ්න ටික තේරුම් ගන්න මම ගිහින් නැවතුණේ ලන්ඩන් වල මානසික ප්‍රතිකාර වාට්ටුවේ,” මානසික වද වේදනා විඳින්නන් විසින් ගත යුතු අතිශය වැදගත් තීරණයක් වන්නේ එයයි.

2019 දී ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඔහු විසින් දක්වා තිබුණේ තමන්ට “සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති බව සහ ඇඳෙන් නැගිටීමට නොහැකි බව”යි.

“මම අවංකවම කල්පනා කරමින් හිටියා මම සියදිවි නසා ගන්න අවශ්‍ය ද කියලා,” ඔහු පැවසුවා.

ඒ පීඩනය, හැම ඇසකම බලාපොරොත්තුව වෙලා ඉන්න එක, මට ඒක දරාගන්න බැරි වුනා. මම වෛර කළා මම මොන වගේ මිනිහෙකු ද කියන එකට,” සියදිවි නසා ගැනීමේ මාවතට ඔහුව තල්ලු කරමින් තිබුණේ ඒ සිතුවිලි විසිනුයි.

“ඔබට කියන්න පුළුවන්කම තිබුණා මම මට රිදවා ගන්නා බව. මගේ අත පුරාම කැළැල් තිබුණා. ඒකට තමයි මම අත පුරාම පච්චයක් ගැහුවේ. ඒ ටික වහගන්න,” ඔහු පැවසුවා. එලෙස මනස සමඟ පොරබදමින්, තමන්ට හානි කරගනිමින් සිටි කිර්ගියොස් දෙපයින් සිටගෙන 2022 විම්බල්ඩන් තරගාවලියේ අවසන් මහා තරගයටත් සුදුසුකම් ලැබුවා.

සර්බියාවේ නොවැක් ජොකොවිච්ට එරෙහිව තරග වැදී එහි දී ඔහු පරාජය වුනත්, ඔහුගේ යළි පිබිදුණු කතාන්දරය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික පොරබැදීම් ගැන කදිම උදාහරණයක්. ඔබටත් යම් මානසික පීඩාවක් ඇත්නම් වහාම ක්ෂේත්‍රයේ පළපුරුදු අයගේ සහාය පතන්න. ඔබටත් කිර්ගියොස් මෙන් නැවතත් නැගී සිටිය හැකියි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<