Delhi Capitals මෙහෙයවීමේ වගකීම ඉන්දීය කඩුලු රකින්නාට

173

ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ නව නායකයා ලෙස ඉන්දීය ජාතික කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක Rishabh Pant පත්කිරීමට කණ්ඩායම් බලධාරීන් තීරණය කර තිබෙනවා.

නිමා වූ ඉන්දියා – එංගලන්ත තරගාවලිය අතරතුර දී Delhi Capitals හිටපු නායක Shreyas Iyer ආබාධයකට ලක්වීම නිසාවෙන් මෙවර ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම නිසා කණ්ඩායම් නායකත්වය Rishabh Pant හට ලබා දීමට කටයුතු කර ඇත.

මේ වන විට 32 වැනි වියේ පසුවන Rishabh Pant මීට පෙර ඉන්දියානු දේශීය පිටියේ දිල්ලි ප්‍රාන්ත කණ්ඩායමට නායකත්වය ලබා දී ඇති නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියක නායකත්වය දරන මුල්ම අවස්ථාව මෙය වේ.

කණ්ඩායම් නායකත්වය තමන් හට හිමිවීම පිළිබඳව අදහස් දක්වමින් Rishabh Pant ප්‍රකාශ කර සිටියේ යම් දිනක කණ්ඩායම මෙහෙය වීම තමන්ගේ සිහිනයක්ව තිබූ බවයි.

“Delhi වල තමා මම හැදී වැඩුණේ, ඒ වගේම අවුරුදු 6කට කලින් මගේ IPL ක්‍රීඩා දිවිය ආරම්භ වුනේ මෙතැනින්. දිනක මේ කණ්ඩායම මෙහෙයවීම මගේ සිහිනයක්. අද මගේ සිහිනය සැබෑ වෙලා. මේ භූමිකාව සඳහා මම සුදුසුයි කියා තීරණය කළ අප කණ්ඩායම් හිමිකරුවන්ට මගේ කෘතඥතාව පළකරනවා. 

දක්ෂ පුහුණුකාර මණ්ඩලයක් සහ දක්ෂ ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් මා වටා සිටිනවා. Delhi කණ්ඩායමට මගේ උපරිම සේවය ලබාදීමේ දිනය එනතුරු මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Rishabh Pant නායකත්වයට පත්කිරීම පිළිබඳව අදහස් දක්වමින් Delhi Capitals ප්‍රධාන පුහුණුකරු වන Ricky Ponting ප්‍රකාශ කර සිටියේ මෙය ඔහුට ලැබුණු විශාලතම අවස්ථාවක් බවයි.

තවත් ක්‍රිකට් පුවත්:

“Iyer නායකත්වය යටතේ පසුගිය තරගවාර දෙකෙහිදී ඇදහිය නොහැකි ප්‍රතිඵල ලබා ගත්තා. පසුගිය ප්‍රතිඵලවලින් එය ඔප්පු වෙනවා. මෙය තරුණ Rishabh හට ලැබුණු විශාල අවස්ථාවක්, 

ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට එරෙහිව ඉතා සාර්ථක දස්කම් දක්වා පැමිණි ඔහු වැඩි වගකීමක් සහිත නව භූමිකාව ලබාගැනීමට අවශ්‍ය විශ්වාසය ලබා දෙන බවට සැකයක් නැහැ.

පුහුණුකාර මණ්ඩලය ඔහු සමඟින් වැඩ කිරීමට උනන්දුවෙන් පසුවෙනවා, මෙවර තරගාවලිය ආරම්භ වනතුරු නොඉවසිල්ලෙන් පසුවෙන්නේ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

Ajinkya Rahane, Steven Smith, Shikhar Dhawan සහ R Ashwin වැනි ප්‍රබල ක්‍රීඩකයන් සිටිය දී නවක ක්‍රීඩකයෙකුට නායකත්වය දීම පිළිබඳව අදහස් දැක්වූ Delhi Capitals හිටපු නායක Shreyas Iyer ප්‍රකාශ කර සිටියේ මෙම තනතුරු දැරීමට සුදුසුම පුද්ගලයා ඔහු (Pant) බවයි.

“මට උරහිසේ ආබාධයක් ඇතිවුනාට පස්සේ Delhi කණ්ඩායමට නව නායකයෙක් තෝරාගන්න ඕන වුනා, එම තනතුර සඳහා සුදුසුම පුද්ගලයා Pant කියලා මට සැකයක් තිබ්බේ නැහැ. අපගේ විශිෂ්ට කණ්ඩායම සමඟ පුදුමාකාර තරගාවලියකට මම ඔහුට සුබ පතනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Delhi Capitals සහභාගී වන මුල් තරගය අප්‍රේල් මස 10 වැනිදා Chennai Super Kings කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<