දනුජ මහින්ද විදුහල ජය කණුව කරා ගෙන යයි

282
ඡායාරූපයේ හිමිකාරීත්වය මුල් හිමිකරුවන් සතුයි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ආදරවන්තයන්ගේ සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයේ 2022 වසරේ ජයග්‍රාහකයන් බවට පත් වීමට මහින්ද විද්‍යාලය සමත් වුනා.

අද (10) ගාල්ල මහින්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 17ක ජයග්‍රහණයක් ලබා ගත්තා. කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන්නේ තමන්ට සුපුරුදු ක්‍රීඩාංගණයේ වාසිය ද සමඟින්.

ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 226ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී රිච්මන්ඩ්වරුන්ට රැස් කර ගත හැකි වන්නේ සියලුම දෙනා දැවී ලකුණු 209ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය වෙනුවෙන් අගනා ශතකයක් වාර්තා කිරීමට දකුණත් ඉදිරි පෙළ පිතිකරු දනුජ ඉඳුවර සමත් වුනා. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් 100ක් ලබා ගත්තා.

ඉනිමේ ආරම්භක කඩුලු ලකුණු 26කට සීමා වෙද්දී ප්‍රමේෂ් මධුභාෂණ සහ දිනුර කළුපහන එක් ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට සමත් වුනා. එය මහින්ද ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වෙද්දී එය නිමා වෙන්නේ ප්‍රමේෂ්ගේ දැවී යෑමත් සමඟින්. ඔහු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

දිනුර තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන්නේ අර්ධ ශතක ලකුණ කරා දිව යෑමට ගත් උත්සාහයේ දී. ඒ වෙද්දී ඔහු පන්දු 69කට මුහුණ දී සිටි අතර හතරේ පහර 6ක් එම ඉනිමට ඇතුළත් වුනා.

මෙම පිතිකරුවන්ට අමතර ව ආරම්භක පිතිකරු හරීන් අචින්ත ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට රිච්මන්ඩ් පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී තරිඳු නිර්මාල් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර හංසමාන ද සිල්වා සහ ෂැරෝන් අභිශේක් කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතර ව කල්ප නෙත්සර සහ මල්ෂ තරුපති කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ආරම්භක පිතිකරු තරින්ද නිර්මාල්. ඔහු සිව්වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.

නමුත් එම ඉනිමට වඩා රිච්මන්ඩ්වරුන්ගේ ඉනිමේ කැපී පෙනෙන පෞද්ගලික ඉනිමේ හිමිකාරයා වූයේ අංක 10 පිතිකරු කල්ප නෙත්සර. ඔහු තරගය අවසන් වීමට පන්දු 8ක් තිබිය දී දුවද්දී යෑමට ගොස් දැවී යන විට පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.

ඔහු සහ ෂැරෝන් අභිශේක් අතර 9 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 59ක්. එය රිච්මන්ඩ් ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාවය ද වුනා. ෂැරෝන් රිච්මන්ඩ් ඉනිම අවසන් වන විට පන්දු 54කට මුහුණ දී කිසිදු සීමා පහරක් නොමැතිව නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

ඊට අමතර ව හංසමාන ද සිල්වා පන්දු 38ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගනිමින් මැද පෙළ ශක්තිමත් කළා.

රිච්මන්ඩ්වරුන්ගේ ඉනිම පාලනය කිරීමට සත්කාරක පන්දු යවන්නෝ 8 දෙනෙක් යොදා ගත් අතර ඒ අතුරින් සාර්ථක ම පන්දු යවන්නා වූයේ කුශාන් මධූෂ. ඔහු තම පන්දුවාර 10 ලකුණු 29කට සීමා කරමින් කඩුලු 4ක් දවා ගත්තා.

ඊට අමතර ව ශෙහාන් හසරංග කඩුලු 2ක් දවා ගත් අතර දනුජ ඉඳුවර, තරුෂ ඩිල්ශාන් සහ හිරුණ මන්දිල කඩුල්ල බැගින් දවා ගත්තා.

  • මහින්ද විද්‍යාලය – සියලුම දෙනා දැවී 226 (50) ප්‍රමේශ් මධුභාෂණ 31, දිනුර කළුපහන 49, දනුජ ඉඳුවර 100, හංසමාන ද සිල්වා 2/44, තරින්ද නිර්මාල් 3/43, ෂැරෝන් අභිශේක් 2/31
  • රිච්මන්ඩ් විද්‍යාලය – සියලුම දෙනා දැවී 209 (50) තරින්ද නිර්මාල් 41, හංසමාන ද සිල්වා 25, ෂැරෝන් අභිශේක් නොදැවී 20, කල්ප නෙත්සර 37, ශෙහාන් හසරංග 2/32, කුශාන් මධූෂ 4/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<