බැට් මෑන් හා රොබින්, බයර්න් මියුනික් ට සමුදෙයි

201
2018-19 Bundesliga  කිරුල දිනා ගත් අවස්තාව.

ජර්මනියේ ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජය වන බයර්න් මියුනික් පාපන්දු ක්‍රීඩා සමාජයේ ස්වර්ණමය යුගයක නිමාව සනිටුහන් කරමින් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් දෙපලක් වන අර්ජෙන් රොබන් (Arjen Robben) හා ෆ්‍රෑන්ක් රිබරි (Franck Ribery) පසුගියදා ජර්මානු පාපන්දු පිටියට සමු දුන්නා.

“ලෝක කුසලානයට වසර 1 ½ කට පෙර සියලු ක්‍රීඩාංගණ සාදා නිම කරනවා”

2022 FIFA පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන්නේ කටාර් රාජ්‍යය යි. මේ පාපන්දු ලෝක කුසලානයක් පළමු වතාවට…

සිය අවසන් තරගයේද ඔවුන් දෙදෙනාම ගෝල වාර්තා කරමින් ජර්මානු බුන්ඩස්ලීගා (Bundesliga) ලීග් පාපන්දු කිරුළ බයර්න් මියුනික් කණ්ඩායමට දිනා දුන්නේ අඛණ්ඩව සත්වන වරටයි.

මේ වනවිට 36 වන වියේ පසුවන ප්‍රංශ ජාතික රිබරි හා 35 වන වියේ පසුවන නෙදර්ලන්ත ජාතික රොබන් අතිසාර්ථක වසර 10 කටත් වඩා කාලයක් ජර්මානු ශූරයින් සමඟ රැඳී සිටීම විශේෂත්වයක්.

පිලිප් ලාම්, බැස්ටියන් ශ්වෙන්ස්ටෙයිගර් වැනි ප්‍රබල, පරිණත ජර්මානු ක්‍රීඩකයින් මීට පෙර කණ්ඩායමෙන් ඉවත් වූ නමුත් රොබන් හා රිබරි කණ්ඩායම සමඟම රැඳෙමින් සිය උපරිම දායකත්වය ලබා දුන්නා.

“ෆ්‍රෑන්ක් හා රොබන් විශිෂ්ට ක්‍රීඩකයින්. ඔවුන් බයර්න් ඉතිහාසයේ සාර්ථකම දශකයේ සාමාජිකයින්. ඔවුන් තමයි මේක සාර්ථකම දශකය බවට පත්කළේ.” යයි එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන විධායක නිළධාරි Karl-Heinz Rummenigge පවසා තිබුනා.

2013 වසරේ බයර්න් මියුනික් කණ්ඩායමට UEFA ශූරයින්ගේ ලීග් (Champions League) පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා දීමට ජයග්‍රාහී ගෝලය වාර්තා කළ රොබන්, පසුගිය දෙසැම්බර් මාසයේදී තමා කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කළත් ආබාධයකට ලක්වීම නිසා ඔහුට මෙවර තරගවාරයේ ක්‍රීඩා කිරීමට හැකිවූයේ තරග කිහිපයක් පමණයි. කෙසේ වෙතත් හැනොවර් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ප්‍රේක්ෂක ප්‍රීතිඝෝෂා මැද ඔහු නැවත පිටියට පිවිසුනා.

රොබන් සමුගැනීම ප්‍රකාශයට පත්කළ දිනකට පසු ඔහුගේ දකුණත් සගයා ෆ්‍රෑන්ක් රිබරි ද සිය සමුගැනීම ප්‍රකාශ කළේ බයර්න් මියුනික් කණ්ඩායම වෙනුවෙන් වසර 12ක් ක්‍රීඩා කරමින් ශූරතා 22ක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

බයර්න් ප්‍රේක්ෂකයින් සමඟ ඉතා සමීප සබඳතාවයක් පවත්වාගෙන යන ෆ්‍රෑන්ක් රිබරි පවසා තිබුනේ “මියුනික් නගරය හැමදාම මගේ ගෙදර වනු ඇත” යන්නයි. ඔහු මියුනික් හි ගතකළ වසර 12න් වසර 10ක්ම ඔහු රොබන් සමඟ ක්‍රීඩාකළ අතර අර්ජෙන් රොබන්, බයර්න් හා එක්වුනේ 2009 වසරේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ සිටයි.

“මම මුලින් මේ තීරණය ගන්නට බොහොම බය වුනා. කෙසේ වෙතත් පසුව මම හොඳින් කල්පනා කර තීරණය කළා මගේ ක්‍රීඩා දිවියේ ඉදිරියට හොඳම තීරණය මෙය බව.”

2018-19 Bundesliga  කිරුල දිනා ගත් අවස්තාව.

පසුගිය වසර 10 පුරාවටම බයර්න් මියුනික් කණ්ඩායමේ සත්කාරක ක්‍රීඩා පිටිය වන Allianz Arena පිටියේදී ප්‍රතිවාදීන් සුණුවිසුනු කළේ ප්‍රේක්ෂක ආදරය නොමදව දිනා ගනිමින්. ප්‍රේක්ෂකයින් ඔවුන් දෙදෙනාට කෙතරම් ආදරේ කළේද යත් ඔවුන් දෙදෙනාගේ නම් එකතු කොට “Robbery” යන සුරතල් නාමයෙන් ඔවුන් දෙදෙනා හඳුන්වන්නට ද පෙළඹුණා.

“අපි දෙදෙනා පළමු දින සිටම යාළුවෝ බවට පත්වුනා.” රොබන් මාධ්‍යට පවසා තිබුනා.

ඔවුන් දෙදෙනා එකතුව ලොව හොඳම ආරක්ෂක වළලු රැසක් දණින් වට්ටන්නට සමත් වුනා. රිබරි ඔහුගේ වේගය හා පන්දුව ඉදිරියට රැගෙන යාමේ හැකියාව භාවිතා කරමින් ඉදිරියට ඇදෙන අතර රොබන් ඔහුගේ සුපුරුදු වම් පා පහරින් පිටියේ දඬුවම් චතුරශ්‍රයෙන් පිටත සිට අලංකාර ගෝල වාර්තා කිරීම බයර්න් ප්‍රේක්ෂකයින්ට සුලබ දසුනක් වුනා.

ඔවුන්ගේ මේ සොඳුරු මිතුරුදමේ කළු පැල්ලම්ද නැතුවා නොවේ.

2012 වසරේ අප්‍රේල් මාසයේ රිබරි හා රොබන් අතර ක්‍රීඩාගාරයේදී ගැටුමක් ඇති වුනා. ඒ නිදහස් පහරක් ලබා ගන්නේ ඔවුන් දෙදෙනාගෙන් කවුදැයි තීරණය කරගැනීමට නොහැකිවයි. කෙසේ වෙතත් රොබන් පසුව පවසා තිබුනේ ඔහු නැවත රිබරි සමඟ ක්‍රීඩා කරාවිද යන්න වත් ඔහුට විශ්වාසයක් නොතිබූ බවයි.

බාසිලෝනා පාපන්දු සමාජයේ යුරෝපා ආධිපත්‍යය බිඳවැටීම

පසුගියදා පැවති “UEFA ශූරයින්ගේ ලීග් (Champions League)” තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන අදියරයේ (2nd leg) තරගයේදී….

ඊට වසරකට පසු සියලු ගැටළු අමතක කළ ඔවුන්, බයර්න් මියුනික් කණ්ඩායම වෙනුවෙන් 89වන මිනිත්තුවේදී  2013 UEFA ශූරයින්ගේ ලීග් තරගාවලිය දිනා දෙන්නට සමත් වුනා. ඒ පාපන්දු ක්‍රීඩාවේ මහගෙදර වන් වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී ඔවුන්ගේ ජර්මානු ප්‍රතිවාදීන් වන ඩෝර්ට්මුන්ඩ් කණ්ඩායම පරාජය කරමින්. 

රොබන් 2013 ශූරයින්ගේ ලීග් කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රාහී ගෝලය වාර්තා කළ මොහොත.

එම තරගවාරය, වසර කිහිපයකට පසු බයර්න් මියුනික් කණ්ඩායම නැවත වතාවක් යුරෝපා පාපන්දු ලෝකයේ ඉහළම ස්ථානය පැමිණි අවස්ථාව ලෙස රන් අකුරින් සටහන් වුනා.

රොබන් 2009 වසරේදී කණ්ඩායමට එකතුවන විට බයර්න් කණ්ඩායම අවසන් වරට ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ක්‍රීඩා කර දශකයකට අධික කාලයක් ගතවී තිබුනා.

එතැන් සිට ඔවුන් ගතවූ වසර 10 පුරාවට 7 වතාවක්ම අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසුනේ “Robbery” ගේ ප්‍රහාරයට පිං සිදුවන්නටයි. ඔවුන් 2010, 2012 හා 2013 වසර වලදී අවසන් මහා තරගයට පිවිසෙන්නට සමත් වුනා.

රොබන් හා රිබරි එක්ව ජර්මානු Bundesliga ශූරතා 8ක් දිනා ඇති අතර ඊයේ (25) දින DFB පෝකාල් කුසලානය ජය ගැනීමෙන් අනතුරුව ඔවුන් ජර්මානු කුසලාන 5ක්ද ජයග්‍රහණය කර තිබෙනවා.

ප්‍රංශ ජාතික ෆ්‍රෑන්ක් රිබරි Bundesliga ඉතිහාසයේ ලීග් ශූරතා 9ක් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයා ලෙසද ඉතිහාසගත වී සිටීම විශේෂත්වයක්.

2013 වසරින් පසුව ඔවුන් දෙදෙනාම යම් යම් ආබාධ වලට ලක්වූ අතර ඔවුන් දෙදෙනාටම ආබාධ නිසා තරග 100කට වඩා අහිමි වුනා.

ආබාධ මැඩලමින් ඔවුන් අද දක්වාම පාපන්දුවේ ඉහළම තලයේ රැඳී සිටිනන්ට සමත්වූ අතර වසර 10 පුරා ඔවුන් කළ වික්‍රමය දැන් කරන්නට භාරවී ඇත්තේ යොවුන් ක්‍රීඩකයින් දෙපලක් වන ප්‍රංශ ජාතික Kingsley Coman ට හා ජර්මානු ජාතික Serge Gnabry හටයි.

“Kingsley හා Serge ඉතාම හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන් දෙදෙනා, මම හා රොබන් වගේම සාර්ථකත්වයක් අත්කර ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා.” යයි රිබරි ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තු එකතු කර තිබුනා.

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාව කරා – මාවින් හැමිල්ටන්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගියදා “FIFA ලෝක කුසලාන තේරීම් තරගාවලිය” සඳහා සූදානම් වීමට ක්‍රීඩකයින් 31 දෙනෙකුගෙන් සමන්විත…

ස්වර්ණමය යුගයක් නිමාකර බයර්න් මියුනික් කණ්ඩායමට සමුදෙන, ජර්මානු පාපන්දුවේ බැට් මෑන් හා රොබින් නැති අඩුව යුරෝපා පාපන්දු පිටියට හොඳින්ම දැනෙනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<