බාසිලෝනා පාපන්දු සමාජයේ යුරෝපා ආධිපත්‍යය බිඳවැටීම

230
GettyImages

පසුගියදා පැවති “UEFA ශූරයින්ගේ ලීග් (Champions League)” තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවන අදියරයේ (2nd leg) තරගයේදී එංගලන්තයේ ලිවර්පූල් පාපන්දු සමාජය හමුවේ ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජය ගෝල 0-4ක නොසිතූ පරාජයක් ලැබීය.

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාව කරා – මාවින් හැමිල්ටන්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසුගියදා “FIFA ලෝක කුසලාන ……..

එම පරාජයත් සමඟ අඛණ්ඩව සිව්වන වරටත් ලියොනල් මෙසී ඇතුළු බාසිලෝනා ක්‍රීඩකයින්ට යුරෝපයේ හොඳම පාපන්දු කණ්ඩායම ලෙස කිරුළු පැළඳීමේ සිහිනය බොඳව ගියේය.

බාසිලෝනා කණ්ඩායම අවසන් වරට “UEFA ශූරයින්ගේ ලීග්” කුසලානයක් ජයග්‍රහණය කරනු ලැබුවේ 2014-15 තරග වාරයේ දීය. එතැන් පටන් මේ දක්වාම ඔවුන් එය ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූවා පමණක් නොව එහි අවසන් මහා තරගයට හෝ සුදුසුකම් ලබාගන්නට සමත් වී නොමැත.

බොහෝ පාපන්දු විචාරකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් අතර මෙන්ම ක්‍රීඩා ලෝලීන් අතරද දැනට පාපන්දු පිටියේ සිටින විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස සහ එදා මෙදා තුර පාපන්දු පිටියේ පහළ වූ විශිෂ්ටතමයින් අතරින් එක් අයෙකු ලෙස ගෞරවයට පාත්‍රව සිටින ලියොනල් මෙසී කණ්ඩායම තුළ සිටියදීත් බාසිලෝනා කණ්ඩායම මේ අයුරින් අඛණ්ඩව වසර 4ක් පුරාවට ශූරයින්ගේ ලීග් තරගාවලිය ජයග්‍රහණය කිරීමට අපොහොසත් වීම ගැටළු සහගත තත්වයකි.

2014-15 තරග වාරය

කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ලුවිස් එන්රිකේ පත්කිරීමෙන් අනතුරුව ඔහු සිය පළමු තරග වාරයේදීම ශූරයින්ගේ ලීග් කුසලානය කරා බාසිලෝනා කණ්ඩායම මෙහෙයවන්නට සමත් විය. ඊට පෙර අවසන් වරට ඔවුන් එම තරගාවලිය ජයග්‍රහණය කර තිබුනේ 2011-12 තරග වාරයේ දීය.

ඒ අනුව ජර්මනියේ බර්ලින් නුවර ‘Olympiastadion’ ක්‍රීඩාංගණයේදී ඉතාලියේ Juventus කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය දැඩි අභියෝගයකින් තොරව ඔවුන් ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ වසර 4ක කාලයකින් අනතුරුව පළමු වරට යුරෝපයේ ශූරයින් ලෙස අභිසෙස් ලබමිනි. එහිදී Ivan Rakitić, Luis Suárez සහ Neymar බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට සමත් විය.

පසුගිය අවුරුදු කිහිපය තුළ බාසිලෝනා කණ්ඩායමේ සාර්ථකම තරග වාරය ලෙස 2014-15 තරග වාරය හඳුනාගත හැක. ලුවිස් එන්රිකේ සිය මංගල තරග වාරයේදීම UEFA ශූරයින්ගේ ලීග් කුසලානය, La Liga ස්පාඤ්ඤ ලීග් කුසලානය සහ Copa Del Rey කුසලානය කරා කණ්ඩායම මෙහෙයවන්නට සමත් වූයේ 2008-09 තරග වාරයෙන් පසුව ප්‍රථම වරට එක් තරග වාරයකදී ශූරතා ත්‍රිත්වයම (Treble) බාසිලෝනා කණ්ඩායම වෙත ළඟාකර දෙමිනි. ඒත් සමඟම ශූරතා ත්‍රිත්වයක් දෙවන වරටත් ජයග්‍රහණය කළ පළමු කණ්ඩායම ලෙස ඔවුන් වාර්තා පොත් අතරට එක්විය.

බාසිලෝනා කණ්ඩායම 2014-15 ශූරතා ත්‍රිත්වය (Treble) දිනාගනිමින්
Courtesy: eurosport.co.uk

2015-16 තරග වාරය

පෙර තරග වාරයේ දී ශූරතා ත්‍රිත්වයම දිනාගැනීමත්, මෙසී සහ නේමාර් ඉහළ දක්‍ෂතා අතර සිටීමත් සහ ලුවිස් එන්රිකේ යටතේ කණ්ඩායම ක්‍රීඩාකළ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවත් නිසා මෙම තරග වාරයේදී ද බාසිලෝනා කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලිය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළහ.

මෙවර E කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ ඔවුන් කාණ්ඩ තරග වටයේ තරග 6න් තරග 4ක් ජයග්‍රහණය කර ඉතිරි තරග 2 ජය-පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. ඒ අනුව අපරාජිතව කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නට ඔවුන් සමත් විය.

අවසන් 16 දෙනාගේ වටයේදී ඔවුන්ට එල්ල වූ අභියෝගය වූයේ එංගලන්තයේ ප්‍රබල පාපන්දු සමාජයක් වන Arsenal කණ්ඩායමයි. එහිදී ඔවුන් පළමු අදියරයේ තරගය ගෝල 2-0ක් ලෙසත්, දෙවන අදියරයේ තරගය ගෝල 3-1ක් ලෙසත් ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය. ඒ අනුව ඔවුන් දැඩි අභියෝගයකින් තොරව සමස්ත ගෝල 5-1ක ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නට සමත් විය.

එහිදී ඔවුන් හමුවේ පැවති අභියෝගය වූයේ ස්පාඤ්ඤයේම තවත් පාපන්දු සමාජයක් වන Atlético Madrid පාපන්දු සමාජයයි. එම තරගයද එතරම් අභියෝගයකින් තොරව ඔවුන් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ අපේක්‍ෂාව විය. ඒ අනුව එහි පළමු අදියරයේ තරගයේ ජයග්‍රහණය ගෝල 2-1ක් ලෙස තහවුරු කරගන්නට බාසිලෝනා ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි එහි දෙවන අදියරයේ තරගයේ දී ප්‍රබල ක්‍රීඩා විලාශයක් දියත් කළ Atlético Madrid සමාජයේ ක්‍රීඩකයින් එම තරගය ගෝල 0-2ක් ලෙස ජයග්‍රහණය කරමින් සමස්ත තරගය ගෝල 2-3ක් ලෙස ජයග්‍රහණයක් තහවුරු කරගත්තේය. ඒ අනුව Atlético Madrid සමාජය ඊළඟ තරග වටයට සුදුසුකම් ලබාගන්නට සමත් වූයේ බාසිලෝනා කණ්ඩායමේ යුරෝපා සිහිනය බිඳදමමිනි.

එහි අවසන් මහා තරගයේදී බාසිලෝනා කණ්ඩායමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස සැලකෙන ස්පාඤ්ඤයේම Real Madrid කණ්ඩායම විසින් Atlético Madrid කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වූයේ බාසිලෝනා ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ද තවදුරටත් සිත් තැවුලට පත්කරමිනි.

Real Madrid කණ්ඩායම 2015-16 ශූරයින්ගේ ලීග් ශූරතාවය දිනාගනිමින්
Courtesy: en.as.com

ඒ අනුව මෙම තරග වාරයේදී බාසිලෝනා කණ්ඩායමට ශූරයින්ගේ ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් නොසිතූ පරිදි ඉවත්ව යන්නට සිදුවූ අතර ඒත් සමඟම ඔවුන්ට La Liga ස්පාඤ්ඤ ලීග් කුසලානය සහ Copa Del Rey කුසලානය දිනාගැනීමෙන් පමණක් සෑහීමකට පත්වන්නට සිදුවිය.

2016-17 තරග වාරය

මෙම තරග වාරයේ බාසිලෝනා ක්‍රීඩකයින් ශූරයින්ගේ ලීග් තරගාවලියට එක්වූයේ සිය ප්‍රතිවාදීන් හමුවේ අහිමිවී ගිය යුරෝපා ආධිපත්‍යය නැවතත් ස්ථාපිත  කරගැනීමේ බලාපොරොත්තුව යටතේ ය. ‘C’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ඔවුන් කාණ්ඩ තරග වටයේ තරග 6න් තරග 5ක් ජයග්‍රහණය කරමින් එහි පෙරමුණ ගෙන අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නට සමත් විය.

එහිදී ඔවුන්ට Paris Saint-Germain කණ්ඩායමට මුහුණ දීමට සිදුවූ අතර එහි පළමු අදියරයේ තරගය පැවතියේ ප්‍රතිවාදීන්ගේ (Away) ක්‍රීඩාංගණයේ දීය. මෙම තරගය බාසිලෝනා ක්‍රීඩකයින් හට දැඩි අභියෝගයක් නොවනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළත් එහිදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක් දියත් කළ Paris Saint-Germain ක්‍රීඩකයින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ පරිදි ගෝල 0-4ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය.

ශූරයින්ගේ ලීග් ඉතිහාසය තුළ පළමු වටයේ තරගයක් එවන් ලකුණු පරතරයකින් පරාජය වීමෙන් අනතුරුව කිසිඳු කණ්ඩායමක් දෙවන වටයේ තරගයේදී සමස්ත තරග වටයේම ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත්ව නොතිබූ අතර ඒ අනුව බාසිලෝනා ක්‍රීඩකයින්ගේ යුරෝපා සිහිනය නැවත වරක් බොඳවී යන සේයාවක් දිස්විය.

බාසිලෝනා කණ්ඩායමේ Camp Nou ක්‍රීඩාංගණයේදී පැවති දෙවන අදියරයේ තරගයේ 87 වන මිනිත්තුව දක්වාම Paris Saint-Germain ක්‍රීඩකයින් 3-5ක් ලෙස සමස්ත ගෝල එකතුවෙන් ඉදිරියෙන් රැඳෙන්නට සමත් වුවත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි අවසාන මිනිත්තු 08ක කාලය තුළ බාසිලෝනා ක්‍රීඩකයින් තවත් ගෝල 3ක් වාර්තා කිරීමට සමත් විය. ගෝල 6-1ක් ලෙස එම තරගය ජයග්‍රහණය කරමින් බාසිලෝනා කණ්ඩායම, සමස්ත ගෝල 6-5ක් ලෙස එම තරග වටයේම ජයග්‍රහණය තහවුරු කරගත්තේ ශූරයින්ගේ ලීග් ඉතිහාසයේ විශිෂ්ටතම හඹායාමක් සාර්ථක කරගනිමිනි.

පාපන්දු නීතිරීති වල සංශෝධන රැසක්

පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේ දී පිළිපැදිය යුතු නීතිරීති……..

අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුන්ට 2014-15 අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ පරාජයට පත්වූ ඉතාලියේ Juventus කණ්ඩායම නැවත වරක් මුණගැසුණු අතර එම පරාජයට මෙවර ප්‍රබල ප්‍රතිචාරයක් ලබාදුන් Juventus කණ්ඩායම එහි පළමු අදියර ගෝල 0-3ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් දෙවන අදියර ගෝල නොමැතිව ජය-පරාජයෙන් තොරව අවසන් කර බාසිලෝනා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කර දමන්නට සමත් විය. ඒ අනුව අඛණ්ඩව දෙවන වසරටත් බාසිලෝනා ක්‍රීඩකයින්ගේ යුරෝපා සිහිනය අර්ධ අවසන් පූර්ව වටයෙන්ම බිඳ වැටුනි.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී Juventus කණ්ඩායම ගෝල 1-4ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කරමින් Real Madrid ක්‍රීඩකයින් අඛණ්ඩව දෙවන වරටත් යුරෝපයේ සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සමත් විය. ඉතිහාසය තුළ ශූරයින්ගේ ලීග් තරගාවලිය අඛණ්ඩව දෙවරක් ජයග්‍රහණය කළ පළමු කණ්ඩායම බවට Real Madrid කණ්ඩායම පත්වූයේ  බාසිලෝනා ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමිනි.

Real Madrid කණ්ඩායම 2016-17 ශූරයින්ගේ ලීග් ශූරතාවය දිනාගනිමින්
Courtesy: sportskeeda.com

තවදුරටත් ඔවුන් පසුගිය තරග වාර දෙක පුරාවට රැකගත් La Liga ස්පාඤ්ඤ ලීග් කුසලානය ද මෙවර ඔවුන්ගෙන් උදුරා ගන්නට Real Madrid කණ්ඩායම සමත්වූ අතර ඒත් සමඟම ඔවුන්ට Copa Del Rey කුසලානයෙන් පමණක් සෑහීමකට පත්වන්නට සිදුවිය. ඒ අනුව මෙය මෑත අවුරුදු කිහිපය තුළ බාසිලෝනා කණ්ඩායමේ දුර්වලතම තරග වාරය ලෙස හඳුනාගත හැක.

2017-18 තරග වාරය

පෙර තරග වාරය අවසානයේ ලුවිස් එන්රිකේ බාසිලෝනා කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව පුහුණුකරු ලෙස අර්නෙස්ටෝ වැල්වර්ඩේ පත්කරනු ලැබීය. එමෙන්ම කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදි කණ්ඩායමේ සිටි ප්‍රධානතම ක්‍රීඩකයින් අතරින් එක් අයෙක් වූ නේමාර් කණ්ඩායම අතහැර Paris Saint-Germain කණ්ඩායම සමඟ එක්විය. මෙම තරග වාරය ආරම්භ වීමට පෙර පැවති Spanish Super Cup තරගයේ තරග වට දෙක තුළ ඔවුන් Real Madrid කණ්ඩායම හමුවේ ගෝල 5-1ක පරාජයක් අත්විඳින්නට සිදුවූ අතර ඒත් සමඟම වැල්වර්ඩේගේ පුහුණුකාරීත්වය පිළිබඳ ප්‍රශ්න මතුවන්නට විය. මෙවන් පසුබිමක් තුළ මෙම තරග වාරය තුළ බාසිලෝනා කණ්ඩායම එකඳු කුසලානයක් හෝ ජයග්‍රහණය කිරීමට සමත් නොවනු ඇතැයි බොහෝ මත ඉදිරිපත් වන්නට විය.

කෙසේ නමුත් එම මත සියල්ල පසෙකට දමමින් වැල්වර්ඩේ, බාසිලෝනා කණ්ඩායමේ දක්‍ෂතා පෙන්වමින් ඉදිරියට රැගෙන යන්නට සමත් වූ අතර ඒ අනුව ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ වටයේ තරග 6න් තරග 4ක් ජයග්‍රහණය කර ඉතිරි තරග 2 ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් විය. ඒ අනුව අපරාජිතව ‘D’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අවසාන 16 දෙනාගේ වටයට බාසිලෝනා කණ්ඩායම රැගෙන යන්නට ඔහු සමත් විය.

එම වටයේදී එංගලන්තයේ Chelsea කණ්ඩායම සමඟ තරග වැදුනු ඔවුන් එහි පළමු අදියර ගෝල 1-1ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් කරගැනීමෙන් අනතුරුව දෙවන අදියර ගෝල 3-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගන්නට සමත් විය.

ශූරයින්ගේ ලීග් තරගාවලිය තුළ මේ ආකාරයට බාසිලෝනා ක්‍රීඩකයින් ඉහළ දක්‍ෂතා දක්වන අතරතුර ඊට සමගාමීව La Liga ස්පාඤ්ඤ ලීග් තරගාවලියේද අපරාජිතව රැඳෙමින් ඔවුන් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය. එසේම Real Madrid කණ්ඩායම මෙම තරගාවලි දෙකේම ඉහළ දක්‍ෂතා අතරට පැමිණෙන්නට අපොහොසත් වීමත් සමඟ බාසිලෝනා ක්‍රීඩකයින් අතින් ගිලිහී ගොස් තිබූ යුරෝපා ආධිපත්‍ය ඔවුන් මෙවර නැවතත් ස්ථාපිත කරගනු ඇතැයි බොහෝ විචාරක මත පළවිය.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ පළමු අදියරයේ තරගයේදී ඉතාලියේ AS Roma කණ්ඩායම හමුවේ ගෝල 4-1ක පහසු ජයග්‍රහණයක් වාර්තා කරගත් ඔවුන් දෙවන අදියරයට ගියේ ගෝල 3ක පරතරයක් අතැතිව ය. දෙවන අදියරයේ තරගයද ඔවුන් පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි AS Roma ක්‍රීඩකයින් එම තරගය ගෝල 0-3ක් ලෙස ජයග්‍රහණය කරමින් බාසිලෝනා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කර දමන්නට සමත් විය. අදියර දෙක අවසානයේ සමස්ත ගෝල එකතුව 4-4ක් ලෙස සම තත්වයක පැවතියත් ‘away goal advantage’ හරහා AS Roma ක්‍රීඩකයින් එහිදී ඉදිරියට යන්නට සමත් විය. ඒ අනුව අඛණ්ඩව තෙවන වරටත් බාසිලෝනා ක්‍රීඩකයින් හට අර්ධ අවසන් පූර්ව වටයේදී සිය යුරෝපා සිහිනය බොඳකර ගන්නට සිදුවිය.

බාසිලෝනා ක්‍රීඩකයින් ‘AS Roma’ කණ්ඩායම හමුවේ ලැබූ පරාජයෙන් අනතුරුව
Courtesy: independent.co.uk

මෙහිදී ගෝල 3ක වාසියක් අතැතිව සිටියදීත් වැල්වර්ඩේ අනුගමනය කළ දැඩි ආරක්ෂාකාරී ක්‍රීඩා රටාව විචාරකයින් අතර මෙන්ම ක්‍රීඩා ලෝලීන් අතර ද දැඩි විවේචනයට ලක්විය.

ඔවුන්ගේ තත්වය තවදුරටත් පහත වැටුනේ තරග වාරය පුරාවට ඉහළ දක්‍ෂතා අතර නොසිටි ප්‍රතිවාදී Real Madrid ක්‍රීඩකයින් අවශ්‍ය තරග වලදී දක්‍ෂතා දක්වමින් අඛණ්ඩව තෙවන වසරටත් ශූරයින්ගේ ලීග් කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟයි.

ඔවුන් ඒ ආකාරයට නැවතත් යුරෝපයේ සිය ආධිපත්‍යය ස්ථාපිත කරගන්නට අසමත් වුවත් La Liga ස්පාඤ්ඤ ලීග් තරගාවලියේ පළමු තරග 36ම අපරාජිතව රැඳෙමින් එක් තරගයක් පමණක් පරාජයට පත්වෙමින් එහි ශූරතාවයත්, Copa Del Rey කුසලානයත් ජයග්‍රහණය කරන්නට සමත් විය.

2018-19 තරග වාරය

පෙර තරග වාරයේදී කණ්ඩායමට එක්කරගත් ප්‍රබල ක්‍රීඩකයින් දෙපළක් වන Ousmane Dembélé සහ Philippe Coutinho කණ්ඩායමේ ක්‍රීඩා රටාවට අනුගතව සිටීමත්, තවදුරටත් Arturo Vidal, Malcom Filipe Silva සහ Clément Lenglet වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට එක්කර ගැනීමත් සහ කණ්ඩායම පෙර තරග වාරයේදී දැක්වූ දක්ෂතා මත මෙවර තරග වාරයේදී ශූරයින්ගේ ලීග් කිරුළ ජයග්‍රහණය කරන්නට වැඩිම ඉඩකඩක් ඇති කණ්ඩායම බාසිලෝනා කණ්ඩායම බව විචාරක මතය විය.

තරග වාරය ආරම්භයේදී ලියොනල් මෙසී කණ්ඩායමේ නිත්‍ය නායකත්වය බාරගනිමින් සිදුකළ කතාවේ දී ශූරයින්ගේ ලීග් කුසලානය නැවතත් ජයග්‍රහණය කරන්නට ඔවුන්ට හැකි උපරිමය ලබාදෙන බව ප්‍රකාශ කිරීමත් සමඟ බාසිලෝනා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ද ඉහළ යන්නට විය.

ඒ අනුව B කාණ්ඩයෙන් තරගාවලියට එක්වූ ඔවුන් තරග 6න් තරග 4ක් ජයග්‍රහණය කර ඉතිරි තරග 2 ජය-පරාජයෙන් තොරව අවසන් කරමින් අපරාජිතව අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගන්නට සමත් විය.

එහිදී ප්‍රංශයේ Olympique Lyonnais (Lyon) කණ්ඩායම සමඟ තරග වැදුනු ඔවුන් එහි පළමු අදියර ගෝල 0-0ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් කර දෙවන අදියර ගෝල 5-1ක් ලෙස ඉතා පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

අනතුරුව පැවති අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හමුවේ එහි පළමු අදියර ගෝල 1-0ක් ලෙසත් දෙවන අදියර ගෝල 3-0ක් ලෙසත් පහසුවෙන් ජයග්‍රහණය කරමින් සමස්ත ගෝල 4-0ක් ලෙස බාසිලෝනා කණ්ඩායම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූයේ පසුගිය අවුරුදු 3 පුරාවට ඔවුන් මෙම තරගාවලියෙන් ඉවත්වූ වටයෙන් මෙවර ඉදිරියට යමිනි.

ඒ අනුව අවසන් පූර්ව වටයේදී ඔවුන්ට එල්ල වූ අභියෝගය ගියවර මෙම තරගාවලියේ අනුශූරතාවය දිනාගත් එංගලන්තයේ ලිවර්පූල් කණ්ඩායමයි. එහි පළමු අදියර බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩාංගණයේ පැවති අතර ඉන් ගෝල 3-0ක ජයග්‍රහණයක් වාර්තා කරගන්නට බාසිලෝනා කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ගෝල 2ක් වාර්තා කිරීමද ඇතුළත්ව ලියොනල් මෙසී මෙම තරග වාරය පුරාවට ඉතා විශිෂ්ට දක්‍ෂතා දක්වන්නට සමත් විය.

එහි දෙවන අදියරයට පෙර ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් ත්‍රිත්වයක් වන Mohamed Salah, Roberto Firmino සහ Naby Keïta ආබාධ වලට ලක්ව තිබීම නිසා එම තරගයට ඔවුන් සහභාගී නොවන බව වාර්තා වීමත් සමඟ බාසිලෝනා කණ්ඩායම ඉතා පහසුවෙන් එම වටය ද ජයග්‍රහණය කරමින් මෙවර ශූරයින්ගේ ලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇතැයි නොසිතූ කෙනෙක් නැති තරම් ය.

කෙසේ නමුත් සිදුවූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයකි. ගෝල 3ක වාසියක් අතැතිව මෙම තරගයට පිවිසියත්, ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රබලතම ක්‍රීඩකයින් නොමැති වුවත් බාසිලෝනා කණ්ඩායමට එම තරගයේදී ගෝල 0-4ක් ලෙස ඉතා දුර්වල පරාජයකට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව සමස්ත ගෝල එකතුව මත ගෝල 3-4ක් ලෙස එම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් ලිවර්පූල් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගන්නට සමත් විය.

ලිවර්පූල් ක්‍රීඩකයින් බාසිලෝනා කණ්ඩායම හමුවේ ලැබූ ජයග්‍රහණය සමරමින්
Courtesy: talksport.com

ඒ අනුව අඛණ්ඩව දෙවන වරටත් ගෝල 3ක වාසියක් අහිමි කරගනිමින් බාසිලෝනා ක්‍රීඩකයින්ට ඔවුන්ගේ යුරෝපා සිහිනයට සමුදෙන්නට සිදුවිය. මෙහිදීත් පෙර වසරේදී මෙන් වැල්වර්ඩේ අනුගමනය කළ ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයට එරෙහිව විවේචන එල්ල වන්නට විය. එමෙන්ම පසුගිය වසරේ අත්විඳි පරාජයෙන් කණ්ඩායම කිසිඳු පාඩමක් ඉගෙනගෙන නැතැයි ද තවදුරටත් විවේචන එල්ල වෙමින් පවතියි.

ඔවුන් මෙවරද La Liga ස්පාඤ්ඤ ලීග් ශූරතාවය ජයග්‍රහණය කරන්නටත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත Copa Del Rey අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නටත් සමත්ව තිබුනත් අඛණ්ඩව සිව්වන වසරටත් ඔවුන්ට මේ වනවිට යුරෝපයේ ආධිපත්‍යය අහිමිව ගොස් අවසන් ය.

අවසාන වශයෙන්

යුරෝපයේ ප්‍රබලතම පාපන්දු සමාජයක් ලෙස සිය නාමය ස්ථාපිත කරගෙන සිටින බාසිලෝනා පාපන්දු සමාජය ඒ ආකාරයට පසුගිය වසර 4ක කාලය පුරාවට UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේදී අවශ්‍ය දක්‍ෂතා අතරට පැමිණෙන්නට සමත්ව නොමැත. එහිදී අවස්ථා 3කදී අර්ධ අවසන් පූර්ව වටයෙන් තරගාවලියෙන් ඉවත් යන්නට ඔවුන්ට සිදුවූ අතර මෙම තරග වාරයේ දී අවසන් පූර්ව වටයෙන් ඉවත්ව යන්නට ඔවුන්ට සිදුවිය. මෙම තරග වාර රැසකදීම බාසිලෝනා කණ්ඩායම එහි ශූරතාවය දිනාගැනීමට වැඩිම ඉඩකඩක් තිබූ කණ්ඩායම බව විචාරක මතයයි. ඉතා විශාල වාසියක් අතැතිව තිබියදී ද නොසිතූ ලෙස තරගාවලියෙන් ඉවත්ව යාමට සිදුවූ අවස්ථාවන් කිහිපයක්ද ඒ අතර වේ.

ස්පාඤ්ඤය තුළ ඔවුන්ගේ ආධිපත්‍ය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැති අතර එම කාලය තුළ අවස්ථාවන් බොහෝමයකදී ඔවුන් La Liga ස්පාඤ්ඤ ලීග් ශූරතාවය සහ Copa Del Rey ශූරතාවය ද තහවුරු කරගන්නට සමත්ව ඇත.

ඒ අනුව ගැටළුව ඇත්තේ යුරෝපය තුළ ඔවුන්ගේ ආධිපත්‍යය බිඳවැටී යාම තුළයි. මේ ආකාරයට ශූරයින්ගේ ලීග් තරගාවලියේ ඔවුන් අසාර්ථක වනවිට ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වන Real Madrid කණ්ඩායම ශූරයින්ගේ ලීග් කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට ද සමත් විය. ඒ අනුව 2013-14 තරග වාරයේ Real Madrid කණ්ඩායම ජයග්‍රහණය කළ ශූරතාවය ද ඇතුළත්ව ඔවුන් ශූරයින්ගේ ලීග් කුසලාන 4ක් ජයග්‍රහණය කරන විට බාසිලෝනා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත්තේ එක් ශූරයින්ගේ ලීග් කුසලානයක් පමණි. ඒ අනුව Real Madrid කණ්ඩායමේ සමස්ත ශූරයින්ගේ ලීග් කුසලාන සංඛ්‍යාව 13 දක්වා ඉහළ යද්දී බාසිලෝනා කණ්ඩායම තවමත් දිනාගෙන ඇත්තේ ශූරයින්ගේ ලීග් කුසලාන 5ක් පමණි. මෙම තත්වය ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් අතර නොසන්සුන්කාරී තත්වයක් ඇතිකිරීමට ද හේතුවී ඇත.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන පාපන්දු තේරීම් තරග වලදී දැක්වූ දක්ෂතා

2022 වසරේ කටාර් හිදී පැවැත්වීමට නියමිත මීළඟ “FIFA ලෝක කුසලාන තරගාවලිය…….

ලියොනල් මෙසීගේ ක්‍රීඩා දිවිය අපතේ යාමක් ලෙස බොහෝ බාසිලෝනා ක්‍රීඩා ලෝලීන් මෙම තත්වය දකින අතර තවත් කොට්ඨාසයකගේ මතය වන්නේ මෙසී ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් වට කිහිපය තුළ ඉහළ දක්‍ෂතා දැක්වීමට දිගින් දිගටම අසමත් වී ඇති බවයි. කුමක් වුවත් වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන “Ballon d’Or” සම්මානය 2015 වසරෙන් පසුව දිනාගැනීමට ලියොනල් මෙසී සමත්ව නොමැති අතර එතැන් පටන් එය ජයග්‍රහණය කළ ඇත්තේ Real Madrid ක්‍රීඩකයින් ය. ඒ අනුව එම සම්මානය සඳහා සිය කණ්ඩායම ශූරයින්ගේ ලීග් තරගාවලිය තුළ දක්වන දක්ෂතා බෙහෙවින් ඉවහල් වන බව පිළිඹිබු වන අතර කෙසේ හෝ බාසිලෝනා කණ්ඩායමේ මෙම තත්වය මෙසීගේ කේවළ සම්මාන සඳහා ද ප්‍රබල බලපෑමක් එල්ල කර ඇත.

මීළඟ තරග වාරයේදී හෝ බාසිලෝනා කණ්ඩායම, UEFA ශූරයින්ගේ ලීග් තරගාවලිය ජයග්‍රහණය කර මේ වනවිට ඔවුන්ගෙන් ගිලිහී ඇති යුරෝපා ආධිපත්‍ය ඔවුන් නැවත ස්ථාපිත කරගනු ඇතැයි යන්න බාසිලෝනා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව වන බව නොඅනුමානය.

        >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<