“ලෝක කුසලානයට වසර 1 ½ කට පෙර සියලු ක්‍රීඩාංගණ සාදා නිම කරනවා”

571
Qatar Football Association
AFP

2022 FIFA පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන්නේ කටාර් රාජ්‍යය යි. මේ පාපන්දු ලෝක කුසලානයක් පළමු වතාවට අරාබිකරයට පැමිණෙන අවස්ථාවයි. මෙම ලෝක කුසලානය සාර්ථක කර ගැනීම, මැද පෙරදිගට මෙන්ම ආසියාවට ද ඉතා වැදගත් බව කටාර් පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති සෞද් අල් මොහොන්නදී ගේ අදහසයි.

පුවේන්ද්‍රන්ගේ චෝදනාවලට පාපන්දු සම්මේලනයේ ලේකම්ගෙන් පිළිතුරු

ආර්. පුවේන්ද්‍රන් විසින් පසුගිය දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති අනුර ද සිල්වාට සහ එහි විධායක කමිටුවට…

ඔහු තවදුරටත් පවසා සිටියේ මේ මැදපෙරදිගට පාපන්දු ලෝක කුසලානයක් එන පළමු වතාව බවත් ලෝක කුසලානයට වසර එකහමාරකට පෙර අවශ්‍ය ක්‍රීඩාංගණ සියල්ල සාදා නිම කරන බවත්ය. පෙර ඇතැම් ලෝක කුසලාන වලදී තරගාවලිය ආරම්භයට දින කිහිපයකට පෙරත් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීමේ කටයුතු ඉතිරිව පැවති නමුත් කටාර් හිදී නම් එවැන්නක් සිදු නොවනු ඇති බව ඔහු පවසා තිබුනා.

කටාර් පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති සෞද් අල් මොහොන්නදී

සෞද් අල් මොහන්නදී, FIFA හිද සාමාජිකයෙකු ලෙස තෝරා ගන්නා ලද අතර පසුගිය මස මැලේසියාවේ ක්වාලා ලම්පූර් හිදී පැවති ආසියානු පාපන්දු සම්මේලන වාර්ෂික සැසිවාරයකදී ඔහුව නැවතත් ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපති ලෙස තෝරා ගැනුණා.

කටාර් පාපන්දු සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අමීර් කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට අල් වක්‍රාහ් ක්‍රීඩාංගණයට ඇරයුම් කර තිබුනා.එම ක්‍රීඩාංගණයේ ලෝක කුසලාන තරග ද පැවැත්වීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අතරතුර සෞද් අල් මොහන්නදී මහතා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පිළිබඳව සම්මුඛ සාකච්චාවකට එක්වී මෙසේ අදහස් පළ කර තිබුනා.

ප්‍රශ්නය: 2019 වසරේ ආසියානු කුසලානය කටාර් රාජ්‍යය ජය ගත්තේ සෞදි අරාබිය, ජපානය වැනි ප්‍රබල රටවල් රැසක් පරාජය කරමින්. මීළඟ FIFA ලෝක කුසලානයට සත්කාරකත්වය දරන්නේ ද කටාර් රාජ්‍යයයි. තරගාවලිය සඳහා සූදානම කොහොමද?

පිළිතුර: ඔව්. කටාර් රාජ්‍යය 2022 ලෝක කුසලානයට පිවිසෙන්නේ ආසියානු ශූරයින් ලෙසයි. කටාර් කණ්ඩායම 2022 නොවැම්බර් මස 21 වනදා ලුසයිල් ක්‍රීඩාංගණයේදී ලෝක කුසලානයේ සත්කාරකයින් ලෙස මංගල තරග ක්‍රීඩා කරද්දී, එය මුළු රටටම ඉතා ගෞරවාන්විත අවස්ථාවක් වෙයි.

2022 ලෝක කුසලානය ගැන කිව්වොත් සියලු දේම සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වෙනවා. බ්‍රසීලයෙන් හා රුසියාවෙන් පසු මීළඟ සත්කාරක රාජ්‍යය වන්නේ අපියි. සත්කාරකයින් ලෙස කටයුතු කරන්න අපි හරිම උද්‍යෝගයෙන් ඉන්නේ.

අපි දැනටමත් තරගාවලිය සඳහා යොදා ගන්නා එක් ක්‍රීඩාංගණයක වැඩ නිමකර අවසන් කරලා තියෙන්නේ. 2017 වසරේ මැයි මාසයේදී කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අමීර් කුසලාන අවසන් මහා තරගය සඳහා සත්කාරකත්වය දැරූ අතර ප්‍රේක්ෂකයින් 40000 කට එම ක්‍රීඩාංගණය සෙවණ ලබා දුන්නා.

2019 වසර අපට ඉතාම වැදගත් වසරක්. ක්‍රීඩාංගණ දෙකක් මෙම වසරේ සාදා නිම කරන්නට නියමිතයි. අපි ප්‍රේක්ෂකයින් 40000 කට තරග නැරඹිය හැකි අල් වක්‍රාහ් ක්‍රීඩාංගණය මේ වසරේදී විවෘත කරන අතරම වසර අවසානයේදී අපි ප්‍රේක්ෂක ධාරිතාව 60000ක් වන අල් බයට් ක්‍රීඩාංගණය සාදා නිම කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

2020 වසර නිමාවීමට ප්‍රථම ක්‍රීඩාංගණ 8ම සාදා නිමකර අවසන් කරන අතර තරගාවලියට එක්වන කණ්ඩායම් 32ටම අවශ්‍ය පුහුණුවීම් කළ හැකි ස්ථානද සාදා නිමා කිරීමට නියමිතයි. අපි ශ්‍රී ලංකාවටත් ස්තූති කරන්න ඕනේ. අපේ ව්‍යපෘති වල ශ්‍රී ලාංකිකයින් දහස් ගණනක් වැඩ කරනවා. ඔවුන් සෘජුවම හෝ වක්‍රව ලෝක කුසලානයට සම්බන්ධ ව්‍යාපෘති වල වැඩ කරනවා. සුපිරි තරගාවලියක් සංවිධානය කිරීම සඳහා ඔවුන් කටාර් රාජ්‍යයට ඉතා විශාල සහයෝගයක් ලබා දෙනවා.

අපේ තරගාවලියේ අනෙකුත් බාහිර සේවා සම්පාදකයෝත් ඔවුන්ගේ සේවා ව්‍යාපෘති කඩිනමින් අවසන් කරමින් සිටිනවා. නව මෙට්‍රෝ දුම්රිය සේවාව මේ වසරේ විවෘත කරනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයින්ට දිනකට තරග දෙකක් නරඹා පැයකට අඩු කාලයකින් නැවත ආපසු සිය නවාතැන් ස්ථාන වලට යන්නට හැකි වෙනවා.

නව මාර්ග ව්‍යාපෘතිය හා මාර්ග දිගු කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කිරීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ගුවන් තොටුපොලවල් විශාල කිරීමේ ව්‍යාපෘතිය ද හොඳින් සිදුවෙමින් පවතිනවා. මිලියනයක් ප්‍රේක්ෂකයින්ට අවශ්‍ය හෝටල් හා නවාතැන් පොළවල් 2020 වෙනකොට සාදා නිම කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ජාතික වශයෙන් පරීක්ෂණ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරවලා බලන්න. මේ ඉතාම වටිනා දින කිහිපයක්.

ප්‍රශ්නය: යම් මතයක් තිබෙනවා 2022 ලෝක කුසලානය, කණ්ඩායම් 32 කට නොව කණ්ඩායම් 48 කට විවෘත කළ යුතුයි කියා. ඒ වගේම සම සත්කාරකත්වයක් ලබා දිය යුතුයි කියා. කටාර් රාජ්‍යට හැකිද තනිවම කණ්ඩායම් 48 කට සත්කාරකත්වය ලබා දෙන්න?

පිළිතුර: ලෝක කුසාලනය කණ්ඩායම් 48ක් දක්වා විශාල වන්නේද යන කරුණ මත අපි බොහොම විවෘත මනසකින් ඉන්නේ. මොස්කව් හිදී පළමු වතාවට මේ පිළිබඳව අදහස් දැක්වුනා. පසුවත් FIFA සමුළු කිහිපයකදීම මේ පිළිබඳව අදහස් දැක්වුනා.

අපි මේ පිළිබඳව ඉතා විවෘත මනසකින් ඉන්නේ, FIFA පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීම අපගේ මුළු කලාපයටම ඉතා වැදගත් නිසා. අපේ ඉලක්කය තමයි ලෝක කුසලානය මුළු අරාබි උප මහද්වීපයට මෙන්ම මැදපෙරදිගටත් එකසේ වැදගත් සංධිස්ථානයක් බවට පත් කරන්න.

මේ පිළිබඳව අවසන් තීරණය ගන්නේ කටාර් රාජ්‍යය හා FIFA එකතුවයි. FIFA සමඟ එකඟතාවකට පැමිණ, 2019 ජුනි 06 වනදා FIFA කොංග්‍රස් සමුළුවේදී අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

අපි එම තීරණය තහවුරු කරන තුරු කණ්ඩායම් 32ක් සඳහා ලෝක කුසලානයේ පහසුකම් සූදානම් කරනවා. මේ ලෝක කුසලානය ලොව පැවැත්වුනු හොඳම ලෝක කුසලානයක් බවට පත් කරන්න කටාර් රාජ්‍යය සූදානම්.

ලෝක කුසලාන තේරීම් තරග සහ දකුණු ආසියානු තරගාවලියට සූදානම

එළඹෙන ජුනි මස 06 වන දින මැකාවු හිදී ආරම්භ වන 2022 ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරග සහ දෙසැම්බර් මාසයේ දී…

ප්‍රශ්නය: FIFA විසින් මෙතෙක් තිබූ හොඳම ලෝක කුසලානය ලෙස රුසියාවේ පැවැත්වුනු ලෝක කුසලානය නම් කළා. ඒ නිසාම කටාර් රාජ්‍යයට 2022 ලෝක කුසලානය ඉතා අභියෝගයක් වේවි. ඔබ මේ අභියෝගය දකින්නේ කොහොමද?

පිළිතුර: රුසියාවේ පැවති ලෝක කුසලානයට කටාර් රාජ්‍යය විසින් නියෝජිතයින් 200 දෙනෙකු පිටත් කළේ FIFA හා රුසියාව එක්ව ලෝක කුසලානය සංවිධානය කරන ආකාරය ඉගෙන ගන්නටයි. සත්කාරකත්වය ලැබුනු දින සිට අපි නිර්මාණය කළ ආකෘතියක් තිබෙනවා. ඒ අනුවයි එම පියවර ගත්තේ.

2010 වසරේ සිට ලොව පැවැත්වුනු සෑම ක්‍රීඩා උළෙලකටම අපගේ සේවකයින් සහභාගී වුනා. අපි ඒවායින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ඒවායින් අපි සොයාගත්තා මොනවාද කරන්න ඕනේ දේවල් හා මොනවාද කරන්න ඕනේ නැති දේවල් කියලා. එම අත්දැකීමුත් සමඟින් අපි 2022 කටාර් ලෝක කුසලානය ලොව හොඳම ලෝක කුසලානය කරන්න සූදානම්. ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගය, යුරෝ කුසලානය වැනි තරගාවලි සෑම එකකම සේවය කළ සේවකයින්ගේ අත්දැකීම් අපිට තිබෙනවා.

මම කියන්න කැමතියි රුසියාවේ පැවැත්වුනු ලෝක කුසලානය හරිම ලස්සන අත්දැකීමක් වුනා. මම දැක්කා තරගාවලිය සංවිධානය වුනු ආකාරය හා ප්‍රේක්ෂකයින් සමඟ ස්වෙච්ඡා සේවකයින් කටයුතු කළ ආකාරය. රුසියාවේදී අප දුටු අගනාම දේ තමා තරගාවලියේ තරගකාරී බව.  

සෑම සත්කාරක රටකටම ඔවුන්ගේම අරමුණක් තිබෙනවා. මම සිතනවා ප්‍රේක්ෂකයින් සෑම වතාවකම වෙනස් ආකාරයේ ලෝක කුසලානයක් බලාපොරොත්තු වෙනවා කියලා.

රුසියාව හරි විශාල රටක්. ක්‍රීඩාංගණ දෙකක් අතර දුර කිලෝමීටර 3000 කටත් වඩා වැඩි වුනු අවස්ථා තිබුනා. නමුත් කටාර් හී ක්‍රීඩාංගණ දෙකක් අතර වැඩිම දුර වෙන්නේ කිලෝමීටර 70ක් පමණයි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩකයින්ට උපරිම වශයෙන් ගමනට ගතවන කාලය පැයක් පමණයි. එහි වාසිය තමයි වැඩි ප්‍රේක්ෂක සහභාගීත්වය, ක්‍රීඩකයින්ට උපරිම වශයෙන් විවේක ලැබීම හා ප්‍රේක්ෂකයින්ට විනෝද වීමට කාලයක් ලැබීම.  

තරගාවලිය පැවැත්වෙන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල. ඒ කියන්නේ කටාර් වල හොඳම කාලගුණය පවතින මාස කිහිපය. කාන්තාර සංචාර, වෙරළ සංචාර හා එළිමහන් ජල සැණකෙළි වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබේවි. ඔවුන්ට අරාබියේ ආගන්තුක සත්කාර හා සුප්‍රසිද්ධ කටාර් හී ආහාර වේලක් රසවිඳින්න හැකි වේවි.


මට 100% ක් විශ්වාසයි 2022 වසරේ කටාර් අමතක නොවන ලෝක කුසලානයක් පවත්වමින් අරාබි ලෝකය මෙන්ම ලෝකයම පුදුම කරාවි.

ප්‍රශ්නය: යුරෝපීය රටවල් කටාර් හී අධික අව් රශ්මිය හා ආර්ද්‍රතාව පිළිබඳව අදහස් දක්වා තිබුනා. නමුත් කලීෆා ක්‍රීඩාංගණයට සිසිලන පද්ධතියක් තිබීම විශේෂ කරුණක්.

FIFA විසින් ජුනි, ජූලි මාසවල පැවැත්වීමට නියමිතව තිබුනු ලෝක කුසලානය නොවැම්බර් හා දෙසැම්බර් මාසයට ගෙන ආවේ 2015 වසරේදී. ඒ පියවර ගත්තේ ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයින්, සම්මේලන හා ලීග වලින් ද අදහස් විමසීමෙන් අනතුරුවයි.

සුපිරි කලීෆා ක්‍රීඩාංගණය ඉදිවෙමින්.

ප්‍රේක්ෂකයින්ට, කණ්ඩායම් වලට හා නිලධාරින්ට අධික අව් රශ්මිය පිළිබඳව කලබල වීමට අවශ්‍ය නැහැ. තරගාවලිය පැවැත්වෙන නොවැම්බර්, දෙසැම්බර් මාස වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 දක්වා පහත වැටෙනවා. ක්‍රීඩාවට ගැලපෙනම දේශගුණයක්.

තරගාවලියේ පැවත්වෙන මාසය වෙනස් වුනු නිසා අපි නව සිසිලන පද්ධතිය පිළිබඳව එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් අපි ක්‍රීඩාංගණ සියල්ලේම සිසිලන පද්ධති පිහිටුවීමට මුදල් ආයෝජනය කර තිබෙනවා. ඒවා 2022 තරගාවලිය නිමවී වසරක් පමණ යනතුරු භාවිතා කළ හැකියි.

2017 මැයි මාසයේ අපි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය විවෘත කිරීමෙන් අනතුරුව අපි මෙම සිසිලන පද්ධතිය පරීක්ෂා කර බැලුවා. ක්‍රීඩාංගණයෙන් පිටත සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වයක්, ක්‍රීඩාගාර තුළ සෙල්සියස් අංශක 20ක උෂ්ණත්වයක් හා පිටිය තුළ සෙල්සියස් අංශක 18ක උෂ්ණත්වයක් දක්නට ලැබීම අපව මවිත කළා. කටාර් රාජ්‍යයට පමණක් නොවේ, මෙවැනි දේශගුණයන් තිබෙන අනෙක් රටවල් වලටත් මෙම තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකියි.

ප්‍රශ්නය: තරගාවලියේ මුළු වියදම ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක්. නව ක්‍රීඩාංගණ සඳහා කෙතරම් මුදලක් වැය වෙයිද? නව ක්‍රීඩාංගණ කීයක් 2022 තරගාවලිය සඳහා නිර්මාණය කරනවාද?

අපි බලාපොරොත්තු වෙනවා මුළු තරගාවලිය සඳහා ඩොලර් බිලියන 6.6ක් පමණ වැය වෙයි කියලා. අපට තව වසර තුනක් තිබෙනවා. අවසන් වියදම කොච්චරක් වෙයිද කියලා අපිට දැන්මම කියන්න බැහැ.

අපි ක්‍රීඩාංගණ 8ක් හදනවා. අපි දැනටමත් ඉන් එක් ක්‍රීඩාංගණයක් විවෘත කර තිබෙනවා. ඒ කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණය. අපි 2019 වසරේදී තවත් ක්‍රීඩාංගණ දෙකක් සාදා නිම කරනවා. 2020 වසර අවසන් වෙද්දී අප සියලුම ක්‍රීඩාංගණ සාදා නිම කරනවා.

අල් රයියාන්, අල තුමාම, රස් අබු අබුද්, එඩියුකේෂන් සිටි හා ලුසයිල් තමයි 2020 වසරේ නිම වන ක්‍රීඩාංගණ පහ. ක්‍රීඩාංගණ 6ක් ප්‍රේක්ෂකයින් 40000 කට සෙවන සපයද්දී අල් බයට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින් 60000 කට හා ලුසයිල් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින් 80000 කට සෙවන සලසාවි.

රස් අබු අබුද් FIFA ලෝක කුසලනයටම නිර්මාණය කරන අපුරු නිර්මාණයක්. එම ක්‍රීඩාංගණය නිර්මාණය කරන්නේ කන්ටේනර් බහාලුම් භාවිතා කරමින්. ගලවා ඉවත් කළ හැකි අසුන් සහ building blocks වැනි ගොඩනැගිලි කොටස් වලින් මෙම ක්‍රීඩාංගණය නිර්මාණය කර ඇති අතර එහි ප්‍රේක්ෂකයින් 40000 කට තරග නැරඹිය හැකියි. තරගාවලියෙන් අනතුරුව එම ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කිරීමට නියමිතයි.

ක්‍රීඩාංගණයේ කොටස් තරගාවලියෙන් පසුව ක්‍රීඩා උත්සව හා අනෙකුත් විවිධ උත්සව සඳහා යොදා ගන්නා අතර ප්‍රතිචක්‍රීකරණය හා තරගාවලි සංවිධානය පිළිබඳව ශක්තිමත් පණිවිඩයක් මේ මඟින් කටාර් රාජ්‍යය ලොවට ලබා දෙනවා.

බොහෝ ක්‍රීඩාංගණ අරාබි උරුවට සාදා නිම කරන අතර 2022 වසරෙන් පසුවත් බොහෝ කාලයක් යනතුරු එම ක්‍රීඩාංගණ එසේම පවත්වා ගැනීම අපගේ අරමුණයි.

ප්‍රශ්නය: AFC නිලවරණයේදී ඔබට තිබූ පීඩනය කොහොමද? 2019 අප්‍රේල් මස ඔබට ජය ගෙනා සැලැස්ම මොකද්ද?

පිළිතුර: නිලවරණය ඉතාමත් පීඩනයක් ගෙන එනවා. නමුත් එය එක්තරා විනෝදයකුත් ගෙන එනවා. මම සෑම වෙලාවේම මගේ මිතුරන් හමුවන මේ නිලවරණයට කැමතියි. මට හොඳටම පුළුවන් දේ තමයි ආසියානු පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරන එක. කොහොමද අපි ආසියානු පාපන්දුවේ මට්ටම ඉහළ ස්ථානයකට ගෙනියන්නේ කියන එක.

අපි සෑම වෙලාවකම මැතිවරණයට මුහුණ දෙන්නේ මනා විශ්වාසයකින් යුතුවයි. අපි කරන වැඩ වලින් අපේ ආත්ම විශ්වාසය හා නායකත්වය හොඳින්ම පේනවා.

කටාර් රාජ්‍යය හරිම වාසනාවන්ත රටක්. බොහොම නුවණැති රජයක් හා බොහොම ශක්තිමත් ක්‍රීඩා මණ්ඩල මෙහි තිබෙනවා. කටාර් පාපන්දු සංගමයේ සභාපති එච්. ඊ. ෂෙයික් හමාඩ් බින් ඛලීෆා බින් අහමඩ් අල් තානි සමඟ කටයුතු කරන්නට ලැබුනු එක ගැන මම බොහොම වාසනාවන්තයි.

අපේ අසල්වැසි රටවල් සමඟ අපිට පොදු දැක්මක් තිබෙනවා. ඒ ආසියානු පාපන්දු ක්‍රීඩාව දියුණු කරන්නට හා එහි මට්ටම තවත් ඉහළට ගෙන යන්නට. අපි දන්නවා අපිට එය කරන්න පුළුවන් කියලා. කටාර් අවසන් වරට පැවත්වුනු AFC නිලවරණයේදී ඉතා ශක්තිමත් ස්ථානයක සිටියා. මම FIFA හී කවුන්සිලයේ, පාලක මණ්ඩලයේ අසුනක් මෙන්ම AFC උප සභාපති පුටුවත් දිනා ගත්තා.

මේ ජයග්‍රහණය නිසා පෙනෙන දෙය නම් කටාර් රාජ්‍යය ආසියානු පාපන්දුවේ ඉතා හොඳ ස්ථානයක සිටිනවා, ඉතා බලවත් ස්ථානයක. එය කටාර් පාපන්දු සංගමය කිහිප වතාවක්ම පෙන්වලා තිබෙනවා.

2022 ලෝක කුසලාන සූදානම ගැන අපි දිනපතා FIFA සමඟ සාකච්චා කරනවා. FIFA කවුන්සිලයට ඇතුළු වීම නිසා මට දැනගන්නට ලැබුනා පසුගිය වසර 20 තුළ කටාර් රාජ්‍යය කෙතරම් දුර පැමිණිලා ද කියලා.

මගේ ජයග්‍රහණය පෞද්ගලික එකක් නොවෙයි. මගේ රට හා මගේ කණ්ඩායම තමයි මාව මෙතනට ගෙනාවේ. මම දිගටම ආසියාවේ පාපන්දු සංවර්ධනය පිළිබඳව කටයුතු කරනවා.

ප්‍රශ්නය: AFC සභාපති ෂෙයික් සල්මාන් තරගයකින් තොරවම ජය ලැබුවා. ඔබ එය කොහොමද කටාර් ඇසින් දකින්නේ සහ ඔබට අනුව ඔහු ආසියාවේ පාපන්දුවට සහය දෙන්නේ කොහොමද?

පිළිතුර: මගේ සහෝදරයා ෂෙයික් සල්මාන් යලි තේරී පත්වීම පිළිබඳව මම බොහොම සතුටුයි. 2013 සිට ඔහු ඉතා විශාල සේවයක් සිදුකර තිබෙනවා.

ආසියාවේ පාපන්දුව පසුගිය වසර කිහිපයේදී ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළා. චීනය හා ඉන්දියාව ආසියාවේ ශක්තිමත්ම ලීග් තරගාවලි ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා වගේම ජපානය, කොරියාව හා ගල්ෆ් කලාපයේ ලීග් තරගාවලි ඉතා ප්‍රබල මට්ටමක තිබෙනවා.

එය තමයි AFC විසින් ක්‍රීඩාවේ උන්නතිය සඳහා කළ ආයෝජන වල ප්‍රතිඵල. ක්‍රීඩාවේ භෞතික සම්පත් වෙනුවෙන් අප කළ ආයෝජනය ඵල දරන බව පෙනෙනවා.

ශ්‍රී ලංකාවේ පාපන්දුවට නව සහය පුහුණුකරුවෙක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තේරීම් තරග සහ 2019 දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු…

ෂෙයික් සල්මාන් ආසියානු පාපන්දුවේ ස්වර්ණමය යුගය ගෙන ආවා කියා මම සිතනවා. ලොව විශාලතම ලීග් තරගාවලි වල ආසියානු ක්‍රීඩකයින් කෙතරම් හොඳින් ක්‍රීඩා කරනවාද කියා ඔබ මඳක් බලන්න. තවත් ක්‍රීඩකයින් බොහෝමයක් යුරෝපයට ගොස් ප්‍රබල ලෙස ක්‍රීඩා කරන්නට සූදානම්ව සිටිනවා.

ආසියානු කුසලානය මේ තත්වයට රැගෙන එන්නත් ෂෙයික් සල්මාන් ලොකු සේවයක් කළා. වාර්තාගත කණ්ඩායම් 24ක් සමඟින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මෙතෙක් පැවති විශාලම ආසියානු කුසලානය අපි පැවැත්වූවා. කටාර් රාජ්‍යය එහි විශිෂ්ඨ ලෙස ක්‍රීඩාකළා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<