පරණවිතානගේ පරණ නොවන මතකයන්

406

නිශාද් තරංග පරණවිතාන හෙවත් අපි කවුරුත් දන්නා තරංග පරණවිතාන තම ක්‍රිකට් දිවියෙන් පසුගිය දා සමුගත්තා. ආරම්භක පිතිකරුවෙකු ලෙසින් වසර කිහිපයක්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පරණවිතාන ක්‍රිකට් ජීවිතයට සමු දෙන්නේ 38 හැවිරිදි වියේ දී. මේ ඔහුගේ මතකයක් ගැන ThePapare.com තබන සටහනක්. 

ටෙස්ට් තරග දිවියේ ආරම්භය

2009 පෙබරවාරියේ ටෙස්ට් වරම් හිමිකර ගන්නා පරණවිතානගේ මංගල තරගය පාකිස්තානයට එරෙහිව කරච්චි නගරයේ දි පැවති තරගයයි. ඒ වෙද්දී පරණවිතානට වයස අවුරුදු 26ක්. ඒ මීට අවුරුදු 12කට කලින්. 

“මම ඒ වෙද්දි ක්‍රීඩා කළේ එස්. එස්. සී. එකට. පාසල් කාලයේ සිටම මම ක්‍රීඩා කළේ එස්. එස්. සි. කණ්ඩායමේ. පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පිට පිටම අවුරුදු 3ක් හොඳම පිතිකරු වුනා. ඒ වෙන විට පළමු පෙළ ලකුණු 5000 පහුකරල හිටියේ. ඒ වගේම ඒ වෙද්දී ශ්‍රී ලංකා A, සභාපතිගේ කණ්ඩායම වගේ කණ්ඩායම්වල ක්‍රීඩා කළා. ටෙස්ට් සංචිතයට මම තෝරාගෙන තියෙන බව මට කිව්වේ මගේ තාත්තා. තාත්තා පත්තරෙන් දැකල තමයි මට ඒ පණිවුඩය ගමේ ඉඳලා දෙන්නේ. එතකොටත් මම මේ කිසිවක් නොදැන එස්. එස්. සී. එකේ පුහුණුවිම් කරනවා.”

මංගල ටෙස්ට් තරගයේ අමිහිරි මතකය

ටෙස්ට් තරග දිවියේ මංගල තරගය පරණවිතානට කිසිසේත්ම වාසනාවන්ත වූයේ නැහැ. ඔහුට ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට හැකි වූයේ මිනිත්තු 3ක් පමණි. තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් කඩුල්ල අහිමි කර ගැනිමට පරණවිතානට සිදු වුනා. දෙවැනි ඉනිමේ දී ද ඔහුට රැස් කර ගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි. ඒ අවාසනාවන්ත ලකුණේ දී දුවද්දී දැවී යෑමට පරණවිතානට සිදු වෙනවා. 

“මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන මංගල ටෙස්ට් තරගයට සහභාගි වුනේ. මම විතරක් නෙමෙයි මම ගැන බොහෝ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන සිටියා. ඇත්තම පළමු ඉනිමේ දී මගේ දැවී යෑම ගැන ගොඩක් දුක් වුනා. අවුරුදු ගාණක් පෙරුම් පුරලා ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තෙ නැහැ නේද කියන හැඟීම ආවා. ඒ අප්සට් එක තරගය පුරාම තිබුණා. මම හිතන්නේ දෙවැනි ඉනිමේ දී දුවද්දී දැවී යෑමටත් ඒක බලපාන්න ඇති.”

තවත් විශේෂාංග ලිපි:

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය

මංගල තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිම පමණක් අවසන්ව තිබිය දී පරණවිතාන තම ජීවිතයේ බිහිසුණු අත්දැකීමකට මුහුණ දෙනවා. ඒ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයටයි. 

“මට ඒ ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. බය වීමක් වගේ දෙයක්වත් දැනුණේ නැහැ. වුනේ මොකක්ද කියන එක තේරුණේ වෙඩි වැදිල රෝහල් ගත වුනාට පස්සේ. ඊට පස්සෙ නම් ටිකක් ජීවිත බය කියන එක ඇඟට ආවා.”

මංගල ටෙස්ට් ශතකය

තරංගගේ ටෙස්ට් තරග දිවියේ ඇත්තේ ශතක දෙකක් පමණයි. මේ ශතක දෙකම වාර්තා කරන්නේ 2010 වසරේ ඉන්දීය කණ්ඩායම මෙරට කළ සංචාරයේ දී. තරගාවලියේ ගාල්ලේ දී පැවති පළමු තරගයේ දී පරණවිතාන පළමු ඉනිමේ දී පන්දු 233කට මුහුණ  දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 111ක් ලබා ගන්නවා. නෙල්සන් තියරිය පරණවිතානගේ ගමන අවහිර කරනවා.

තරංග ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව

“මම කණ්ඩායමේ සිටි සෑම අවස්ථාවකම ලකුණු අතර හිටියා. ඒත් මට දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කිරීමේ දැඩි අවශ්‍යතාවක් දැනි තිබුණා. ඒ වෙද්දී මම ටෙස්ට් තරග 10කට ක්‍රීඩා කරල අර්ධ ශතක 4ක් ලබා ගෙන සිටියෙ. ඒ තරගය මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගය. මේ නිසා අපෙනුත් යමක් ඉටු විය යුතුයි කියන හැඟීමෙන් හිටියේ. විශේෂයෙන් ම අපේ කණ්ඩායමේ හැඟීම වෙලා තිබුණේ තරගය ජයග්‍රහණය කළ යුතුයි කියලයි. මම සතුටු වෙනවා මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේ දී මගේ පළමු ටෙස්ට් ශතකය වාර්තා කරන්න ලැබීම ගැන. ඒ වගේම ඔහු වෙනුවෙන් එම තරගය ජයග්‍රහණය ලබන්නත් මට ඒ වෙනුවෙන් ශතකයකින් දායකත්වය දක්වන්නට ලැබීමත් ගැන සතුටුයි.”

දෙවැනි තරගයේ දී තරගාවලියේ දෙවැනියා වීම

එම තරගයෙන් අනතුරුව කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති තරගයේ පළමු ඉනිමේ දී ද පරණවිතාන ශතකයක් ලබා ගන්නවා. පන්දු 221කට මුහුණ දෙන පරණවිතාන හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් එවර වාර්තා කරන ලකුණු සංඛ්‍යාව 100ක්. තරගාවලියේ තරග 3ක ඉනිම 6ක දී පරණවිතාන රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 292ක්. ඉනිමක සාමාන්‍ය 58.40ක්. එම තරගාවලියේ කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් ද සමඟින් ලකුණු 467ක් ලබා ගනිමින් වැඩම ලකුණුලාභීන් අතර පළමු වැනියා වෙනවා. පරණවිතාන දෙක.

“ඉන්දියාව කියන්නේ කිසිසේත්ම අවතක්සේරු කරන්න බැරි කණ්ඩායමක්. ඔවුන් පළමු තරගයේ දී පරාජය වුනත් දෙවැනි තරගයේ දී අපිට හොඳ තරගයක් දෙයි කියන බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ නිසා අපේ බලාපොරොත්තුව වෙලා තිබුණේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් විශාල ලකුණු ප්‍රමාණයකට යන්න. හිතු ලෙසම අපිට ලකුණු 600කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්න හැකි වුනා. කුමා (කුමාර සංගක්කාර) ද්විත්ව ශතකයක්, මම ශතකයක් සහ මහේල ශතකයක් ලබා ගන්නවා. ඉන්දියාව ලකුණු 700 ගාණක් ලබා ගන්නවා. කොහොම වුනත් අපිට එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට හැකි වෙනවා.”

“ඊළඟ තරගයේ දී අපි ඉන්දියාවට පරාජය වෙනවා. කොහොම හරි තරගාවලිය 1-1ක් ලෙස සම වුනා. තරගාවලියේ අපේ දක්ෂතා ගැන හොඳ විවේචන ලැබුණා. මටත් පෞද්ගලිකව මම පෑ දක්ෂතා ගැන සතුටක් තියෙනවා. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහයෝගය අපට නිරතුරුව ලැබුණා. ඔවුන් අපිව ඉතා හොඳින් බලා ගත්තා. අවශ්‍ය තැන්වල දී උපදෙස් දුන්නා.”

Video – තරංග පරණවිතාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙමින් පැවසූ දේ

අවසන් තරගයේ අමිහිරි මතකය

පරණවිතානගේ ටෙස්ට් තරග දිවියේ අවසන් තරගය වෙන්නේ 2012 නොවැම්බර් මාසයේ නවසීලන්තය සමග කොළඹ පී. සරා ඕවල් පිටියේ දි පැවති තරගයයි. එම තරගයේ  පළමු ඉනිමේ දී ලකුණු 40ක් ලබා ගැනීමට පරණවිතාන සමත් වූවත්, දෙවැනි ඉනිමේ දී ඔහුට මුහුණ දීමට සිදු වෙන්නේ එක් පන්දුවකට පමණයි. මංගල තරගයේ පළමු ඉනිමේ දී සේ ම තම අවසන් තරගයේ අවසන් ඉනිමේ දී ද පරණවිතාන බින්දුකාරයෙක් ලෙසින් ක්‍රීඩාගාරයට පිවිසීමට සිදුවීම දෛවෝපගත සිදුවීමක් ලෙසින් සටහන් වෙනවා. 

“ඇත්තටම එම තරගය මගේ අවසන් තරගය වෙලා තිබුණේ නැහැ. නවසීලන්තය සමඟ තිබුණ එම තරගාවලිය අවසානයේ ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියටත් මම ඇතුළත් වෙලා හිටියේ. ඒත් හිටපු හැටියේ ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් වුනා. ඒ වෙනසත් සමඟම කිසිදු හේතුවක් නොදැන මටත් කණ්ඩායමේ තැන අහිමි වුනා. ඊට පස්සෙ මට නැවතත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසයි එම තරගය මගේ අවසන් තරගය වුනේ.”

ටෙස්ට් පිටියේ දී තරංගට හසු වූ අවාසනාවන්තයා

පරණවිතාන දේශීය පිටියේත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේත් පන්දු යවන්නෙක් නෙමේ. නමුත් ඔහු ටෙස්ට් තරග දිවියේ දී පන්දුවාර 17ක් යවනවා. ලකුණු 86ක් ලබා දෙමින් කඩුල්ලක් දවා ගන්නවා. ඔහුට ගොදුරු වෙන්නේ පාකිස්තානයේ එවකට නායක යුනිස් ඛාන්. කඩුලු රැකි ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් රැක ගත් උඩ පන්දුව හේතුවෙන් පරණවිතානට ටෙස්ට් තරග පිටියේ වාර්තා කරන ලද මංගල සහ එකම කඩුල්ලේ ද හිමිකාරිත්වය ලැබෙනවා.

පරණවිතාන එතැන බිඳ හෙළන්නේ දෙවැනි කඩුල්ල සඳහා රැස් කරන ලද ලකුණු 200ක සබඳතාවක්. අනෙක් අන්තයේ සිටියේ ශතකයක් වාර්තා කරගෙන සිටි ෆවාඩ් අලාම්. ඔවුන් දෙදෙනා ඒ වෙද්දී තරංග ද අතුළුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්කට පන්දුවාර 53කට රිසි සේ පන්දුවට පහර දෙමින් සිටියේ.  

“ඒ තරගයේ පාකිස්තාන දෙවැනි ඉනිම වෙද්දී අපි ලකුණු 150ක් විතර ඉදිරියෙන් හිටියේ. ඒත් ෆවාඩ් අලාම් සහ යුනිස් ඛාන්ගේ ඉනිම් නිසා අපිව ලීඩ් කරගෙන ගිහිල්ලා තිබුණේ. පන්දු යවමින් සිටි අජන්ත මෙන්ඩිස් නතර කරල කුමා (කුමාර සංගක්කාර) මට බෝලෙ දුන්නා. ටිකක් තදට යවන්න කියලා. අනෙක් පැත්තෙන් පන්දු යවමින් සිටියේ රංගන අයියා. මම ඔහු දිහා බැලුවා. ඔහු ඇක්ෂන් දාල පෙන්නුවෙත් ඒකමයි. මම ඒ විදිහට වැඩේ කළා. ”

පළමු පෙළ තරග දිවිය

තරංග පරණවිතාන පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ 2001/02 වසරේ දී. එතැන් සිට පසුගිය දා නිමා වූ පළමු පෙළ Plate ක්‍රිකට් තරගාවලිය දක්වාම පුරා වසර 19ක් පළමු පෙළ පිටියේ රැඳී සිටියා. එස්. එස්. සී. කණ්ඩායමෙන් ආරම්භ කළ ඒ ක්‍රිකට් දිවිය ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායමෙන් අවසන් කරන විට ඔහු කණ්ඩායම් ද්විත්යේම නායකත්වයේ ද පරණවිතාන කටයුතු කළා

“පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ද්විත්ව ශතක ලබා ගැනීමටත්, ලකුණු 150කට වැඩියෙන් වැඩිම අවස්ථා ගණනාවක දී රැස් කිරීමටත් මට අවස්ථාව ලැබුණා. ඒ ගැන සතුටු වෙනවා.”

2015 වසරේ ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරමින්

පාසල් ක්‍රිකට් මතකය

තරංග පරණවිතාන කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙකි. පාසල් ක්‍රිකට් ඉතිහාසයේ 1999, 2000 සහ 2001 වසර ත්‍රිත්වයේම ලකුණු 1000ක් වාර්තා කිරීමට සමත් වීම ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී මතකයන් ය. ඇතැම් විට මේ දක්ෂතාව මේ දක්වා කළ එකම ක්‍රීඩකයා විය හැක්කේ ද ඔහු ය. ඒ වකවානුවේ දී පාසල් ක්‍රිකට් සංගමයේ ඇගයීමට ලක් වූ දිවයිනේ දක්ෂතම පිතිකරු. පිට පළාත දක්ෂතම පිතිකරු වැනි සම්මානවලට ඔහු නිතැතින් ම හිමිකම් ලැබුවා. 

“පාසල් ක්‍රිකට් ජීවිතය තමයි මගේ ක්‍රිකට් දිවියට මඟ පෙන්වූවේ. මම වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩා කළ සෑම අවුරුද්දක දී ම පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ ක්‍රිකට් සම්මාන උළෙලවල දී කුමන හෝ සම්මානයක් දිනා ගැනීමට සමත් වුනා. ඒ අතර වන හොඳම මතකය වෙන්නේ 2000 වසරේ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සහභාගී වෙන මට ඒ වසරේ ලකුණු 1000 වාර්තා කිරීමට ලකුණු 154ක් පමණයි අවශ්‍ය වුනේ. මම ඒ බිග් මැච් එකේ පළමු ඉනිමේ දී ලකුණු 153ක් ගැහුවා. ලකුණු 999 දී මගේ ඉනිම අවසන් වීම ගැන බොහෝ දෙනෙක් කම්පා වුනා. මට බැන්නත් එක්ක. වාසනාවකට වගේ මට දෙවැනි ඉනිමට බැට් කරන්න ලැබුණා. ඒ අනුව තමයි මම ඒ වසරේ දී ලකුණු 1000 සම්පූර්ණ කළේ. මගේ පාසල් දිවියේ හොඳම තරගය වුනේ ඒක.”

මතකයන් සමඟින් අනාගතය තීරණය වන අයුරු

“මගේ ක්‍රිකට් ජීවිතය තුළ මට නිතරම ක්‍රීඩා කරන්න ලැබුණේ ශ්‍රේණිගත කිරීමේ දී ඉතා ඉහළින් සිටින කණ්ඩායම් සමඟ. ඔවුන් සමඟ ක්‍රීඩා කරමින් පවා මම තරගයක සාමාන්‍ය 32 පවත්වා ගෙන යන්න හැකි වුනා. ඒ දවස්වල ඉතා අඩු තරගකාරීත්වයකින් යුත් බංග්ලාදේශය හෝ සිම්බාබ්වේ කණ්ඩායම් සමඟ මට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. එසේ වුනා නම් මට මගේ තරගයක සාමාන්‍ය 40 ඉක්මවා ගැනීමට හොඳටම ඉඩ තිබුණා. 

දැන් කාලය අවසන්. මම මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි කාලය ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මම ඒ සඳහා වන සුදුසුකම් දැනටමත් සපුරාගෙන සිටින්නේ. මම විශ්වාස කරනවා, ක්‍රිකට් විනිසුරු ක්ෂේත්‍රය තුළ මට මේ ආ ගමන සේ ම ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.”

පරණවිතාන 4 වැනි මට්ටමේ විනිසුරුවරයෙකු ලෙස උසස්වීමක් ලබමින්.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයෙක් ලෙසින් කළ මෙහෙවරට ThePapare.com සුබ පැතුම් එක් කරන අතර ඔහුගේ අළුත් ක්‍රිකට් ජීවිතයට ද අප සුබ පැතුම් එක් කරමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<