මලල ක්‍රීඩාවෙන් වාර්තා තැබූ ක්‍රිකට් ක්‍රීඩකයා “දුෂාන්”

321

26 හැවිරිදි දුෂාන් හේමන්ත, බදුරලිය ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දකුණත් පිතිකරුවෙක් ලෙසත්, පා දඟපන්දු යවන්නෙක් ලෙසත් දක්වන දක්ෂතා නිසා ඔහු කණ්ඩායමට නැතිවම බැරි ක්‍රීඩකයෙක් බවට පත් වෙලා. ඒ වගේම දුෂාන් මලල ක්‍රීඩාවේ දී ජාත්‍යන්තර පදක්කම්ලාභියෙක්. 

 “මට පුංචි දවස්වල ඉඳලම ක්‍රිකට් ගැන තිබිල තියෙන්නේ පුදුම කැමැත්තක්. ඒක මම නොදන්න කුඩා කාලෙදිම තිබුණ එකක්ලු. මගේ වැඩේම බැට් එකකුත් උස්සගෙන නිතරම තාත්තා පස්සෙ යන එක කියලයි කියන්නේ. ඒත් තාත්තා මට අවුරුදු 3ක් විතර වෙනතුරු මේ වැඩේ මඟ ඇරල තියෙනවා. පස්සෙ පස්සෙ තාත්තා අනෙක් අය ද සමඟ මාවත් හවුල් කරගෙන තියෙනවා.” 

දුෂාන් තමන් නොදන්නා අතීතය ගැන කිව්වේ අම්ම, තාත්තා තමන් ගැන කියූ දේවල් මතක් කරගෙන. දුෂාන්ගේ තාත්තා සුජිත් හේමන්ත. පීටර්සන් සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම්වල හිටපු ක්‍රීඩකයෙක්. මේ දවස්වල ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනවා. මව උදීශා ඉරෝෂිණී. ගෘහණියක් ලෙසින් කාලය ගත කරනවා. 

මේ පවුලේ එකම දරුවා වුනේ දුෂාන්. තාත්තත් ක්‍රිකට්වලට සම්බන්ධ නිසා අමුතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ මුල කුරු කියවන්න කොහේවත් යවන්න වුනේ නැහැ. ගෙදර පරිසරයත් තනිකරම තිබුණෙ ක්‍රීඩාව සමඟ මුහු වෙලා. යාළුවෙක් මිත්‍රයෙක් ආවත් වැඩිහරියක් ආවේ ක්‍රීඩාවලට සම්බන්ධ අය. ඔවුන් වැඩි හරියක් කතා බහ කළේ ක්‍රිකට් ගැන. පාපන්දු ගැන. දුෂාන්ගේ තාත්තා සුජිත් වසර 13ක්ම ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා.

තවත් විශේෂාංග ලිපි:

මේ අත්දැකීම් සමඟ තමයි ගෙදර කතා බහ සිදුවෙන්නේ. ඉතිං ළදරු දුෂාන්ට මේ දේවල් නොතේරුණත්, ඔහුත් මොවුන්ගේ ආශ්‍රයේ තමයි වැඩි කාලයක් ගත කරල තියෙන්නේ.

“ඒ පුරුද්ද අදටත් තියෙනවා. තාත්තගෙ යාළුවෙක් ගෙදරට එන්නෙම මොකක් හරි ක්‍රිකට් හරි පාපන්දු හරි සම්බන්ධ දෙයක් කතා කරන්න.‍ ඒ දවස්වල නොදන්නාකමට මම ඒ තැන්වල හිටියත්, අද නම් ඔවුන් මාවත් ඒ කතා බහට එක්කහු කර ගන්නවා. ඉතිං මේ කතා බහේ දී හොඳ විචාරකයෝ, විශ්ලේෂකයෝ ඉන්නවා. ඔවුන්ගේ උපදෙස් පවා මට අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා.“

දුෂාන් කුඩා අවධියේ චමින්ද වාස් සමඟ

දුෂාන් පාසල් යන්නේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට. ගෙදර දී ලත් ක්‍රිකට් දැනුමත් සමඟින් දුෂාන් සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වල සාමාජිකත්වය ලබා ගන්නවා. ඒ නැතිවම බැරි ක්‍රීඩකයෙක් ලෙසයි. 

දුෂාන් මේ වයස් කාණ්ඩ හතරේ දී ම ශූරතාවන් දිනා ගත් කණ්ඩායම්වල සාමාජිකයෙක් වුනා. වයස අවුරුදු 15න් පහළ ශූරයන් වෙද්දී දුෂාන් බස්නාහිර පළාත් හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තා. වයස අවුරුදු 19න් පහළ කාණ්ඩයේ ක්‍රීඩා කරද්දි දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම්වල නායකත්වය හිමි වුනා. වයස අවුරුදු 17න් පහළ දිවයිනේ හොඳම නායකයා ලෙසින් පාසල් ක්‍රිකට් සංගමයේ වාර්ෂික සම්මාන උළෙලේ දී සම්මාන දිනා ගැනීමට ද දුෂාන් සමත් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 19න් පහළ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ දී අනුශූරතාව හිමි කර ගැනීමට ද දුෂාන් සමත් වෙනවා.

“පාසල් කාලයේ දී වූ ක්‍රිකට් මතකයක් අතර ඉහළින් ම තියෙන්නේ මම ක්‍රීඩා කරපු පළමු අවුරුද්දේම අපිට වාර්ෂික මහා ක්‍රිකට් තරගය දිනා ගන්න පුළුවන් වුනා. ඒ වගේම එක්දින තරගයේ දී මම දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණා.” 

සාන්තුවරයන්ගේ සටනේ දී 2010 වසරේ දී චතුර පීරිස්ගේ නායකත්වය යටතේ සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය කරන්නේ අවුරුදු 32කට පස්සේ. ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වන්නට දුෂාන් සමත් වෙනවා. ඒ වගේම 2012 වසරේ දී ෂෙහාන් ප්‍රනාන්දු යටතේ සාන්ත පීතර විද්‍යාලය සාන්තුවරයන්ගේ සටන ජයග්‍රහණය කරන විට දුෂාන් එම කණ්ඩායමේ උපනායකයා.

පාසල් කාලයෙන් පස්සේ දුෂාන් කෝල්ට්ස්, සැරසන්ස් සහ නාවික හමුදා කණ්ඩායම් නියෝජනය කරනවා. දැන් ක්‍රීඩා කරන්නේ බදුරලිය ක්‍රීඩා සමාජයට. මේ වෙද්දී දුෂාන් පළමු පෙළ තරග 29ක ඉනිම් 45කට මුහුණ දෙමින් ශතක දෙකක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 1267ක් ලබා ගෙන තියෙනවා. ඔහුගේ මතකයේ තියෙන හොඳම ඉනිම වෙන්නේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව ලබා ගත් ලකුණු 193යි. එය පළමු පෙළ ක්‍රිකට් පිටියේ දුෂාන්ගේ හොඳම ඉනිම ද වෙනවා. පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් දුෂාන් පළමු පෙළ ලබා ඇති කඩුලු සංඛ්‍යාව 49ක්. ඊට අමතරව වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ MAS Silueta කණ්ඩායම නියෝජනය කරනවා. 2019 අවුරුද්දේ දුෂාන් තරගාවලියේ වීරයා වෙනවා.  

“පාසලින් ලබපු ක්‍රිකට් පන්නරයත් සමඟින් මට Club සෙල්ලම් කරන එක පහසුවක් වුනා. මම නිතරම උත්සාහ කළේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන්න. තරගයක දී මගෙන් සුවිශේෂී යමක් නොවුණොත් ඒක මගේ හිතට වද දෙනවා. නැවත ලකුණු අතරට හෝ නැත්නම් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට තමයි වැඩි වෙහෙසක් ගන්නේ. එවැනි වෙලාවල්වල දී මම මටම අභියෝග කර ගන්නවා. ඒ අභියෝග ජයග්‍රහණ කරලත් තියෙනවා.”

මේ අත්දැකීම් සමඟින් දුෂාන් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය දැනට වසර දෙකක සිට නියෝජනය කරනවා. පළමු අවුරුද්දේම ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙන්නට සමත් වූ දුෂාන්, විස්සයි විස්ස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට ද පත් වෙනවා.

දුෂාන් ක්‍රිකට් පමණක් නොවේ කප් ගහපු දක්ෂ දුර දිවීමේ ක්‍රීඩකයෙක්. මේ මලල ක්‍රීඩකයා බිහිවෙන්නේ පාසලෙන්. ඒ රටක් කතා කරන මලල ක්‍රීඩා පුහුණුකරු සජිත් ජයලත් මහතාගේ ගෝලයෙක් ලෙසින්. 

“ඒ දවස්වල අපි පිට්ටනියෙම තමයි කාලය ගත කළේ. බිග් මැච් නිසා ඒ චාන්ස් එක ඉස්කෝලෙනුත් ලැබිලයි තිබුණේ. මේ අතර අපිට Physical වලට සජිත් සර් ආවා. සජිත් සර් අපිව බාර ගත්තෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා මලල ක්‍රීඩකයන් වගේ. ඔවුන්ට වගේම පුහුණුවක් අපිටත් දුන්නා.”

මේ පුහුණුවේ තරම දුෂාන් පාසලේ කැපී පෙනෙන මලල ක්‍රීඩකයෙක් ද වුනා. ඒත් දුෂාන්ගේ හිත තිබුණෙ එතැන නෙමේ. ක්‍රිකට් පමණයි. නමුත් සජිත් ජයලාල් මහතා ලෙහෙසියෙන් දුෂාන් අතහැරියේ නැහැ. ඔහු ලැබෙන හැම මොහොතකම දුෂාන් මලල ක්‍රීඩාවට පුහුණු කළා. දුෂානුත් මේ දේවල් කරල තියෙන්නේ සජිත් ජයලාල් මහතාගේන් බේරෙන්න මිසක් මලල ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමක් ගැන හිතලා නෙමේ. 

කොහොම හරි සජිත් ජයලාල් මහතාගේ උත්සාහය අපතේ ගියේ නැහැ. දුෂාන් 2012 අවුරුද්දේ සාන්ත පීතර විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 19න් පහළ මීටර් 1500, මීටර් 3000 සහ මීටර් 5000 ඉසව් ත්‍රිත්වයේම පළමුවැනියා වෙනවා. ඒ පාසල් තරග වාර්තාවක් ද පිහිටුවමින්. ඊට පස්සේ අවුරුද්දේ වයස අවුරුදු 21න් පහළ මීටර් 800 වාර්තාව ද දුෂාන් සතු කර ගන්නවා. 

“කොච්චර තරග දිනුවත් සර් දැනගෙන හිටියා මලල ක්‍රීඩාවට මගේ එතරම් කැමැත්තක් නැහැ කියලා. ඒත් සර් මට පුහුණු කරවන එක නතර කළේ නැහැ. ජාතික ක්‍රීඩා උළෙල පවා මම නියෝජනය කළා. මේ අතර දවසක් සර් තාත්තට කියල තිබුණා 2012 ආසියානු මීට් එක තියෙනවා මාව එවන්න කියලා. ඒත් මම ඒ පුහුණුවිම්වලට සහභාගී වුනේ නැහැ. නමුත් සජිත් සර් වැඩේ අත හැරියේ නැහැ. අවසානයේ මාව Asian Meet එකට සහභාගී කරවන්න බැරි වුනොත් සර් කෝචින්වලින් අයින් වෙනවා කියල තිබුණා. තාත්ත මට කිව්වා මේ මීට් එකට යන්න ඊට පස්සෙ ක්‍රිකට් ද මලල ක්‍රීඩාව ද කියල තෝර ගන්න කියලා.”

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වෙමින්

ඒ අනුව සහභාගී වූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ දී දුෂාන් මීටර් 1500 ඉසව්වට සහභාගි වෙනවා. ඔහු එහි දී 8 වැනියාට තරගය නිමා කළත්, විනාඩි 3.57කින් තරගය නිමා කරමින් ශ්‍රී ලංකාවේ එම ඉසව්වේ කනිෂ්ඨ වාර්තාව තමන් සතු කර ගන්නවා. ඊට පසු වසරේ දී දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 21න් පහළ ඉසව්වේ දී විනාඩි 3.52කින් තරගය නිමා කරමින් තමන්ගේ හොඳම කාලය වාර්තා කරනවා. 2013 වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී එම ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වෙනවා.

“අදටත් සජිත් සර් කතා කරනවා නැවත මලල ක්‍රීඩා පුහුණුවිම් ආරම්භ කරමු කියලා. නමුත් මගේ ලෝකයේ තියෙන්නේ ක්‍රිකට් විතරයි. ඒත් නැවත වතාවක් දවසක මලල ක්‍රීඩා උළෙලක දී මගේ ඉසව්වට සහභාගී වෙන්න කැමැත්තක් තියෙනවා.”

දුෂාන් බොහොම හැඟීම්බරව පවසනවා. මලල ක්‍රීඩාවත්, ක්‍රිකට් ක්‍රීඩාවත් දෙකම බදා ගැනීමෙන් එකක්වත් හරියට කරගන්නට නොහැකි වෙතැයි විශ්වාසයක් දුෂාන් තුළ පවතිනවා. දුෂාන් මේ දිනවල අධිකව වෙහෙස වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්. එය දුෂාන්ට ආගමක්, සංස්කෘතියක් වගේ. ඉන් එහා මාතෘකා දුෂාන්ට ඇත්තේම නැහැ.

“ඕනෑම ක්‍රීඩාවක් කරන්න හොඳ පුහුණුවක් වගේම කැපවීමත් අවශ්‍යයි. මම මේ දවස්වල මගේ උපරිම කාලය යොමු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට. හොඳ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙන්න ඕන. ඒක මගේ බලාපොරොත්තුවක්. ඊට පස්සේ ඒ දක්ෂතා සමග නැගී එන කණ්ඩායම, ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වීමට මම බලාපොරොත්තු වෙනවා.” 

ඔහුගේ බලාපොරොත්තුව ඉටු වේවා යි ThePapare.com ද සුබ පැතුම් එක් කරමු.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<