නවීන් හේනකන්කානම්ගේට නායකත්වය

1164
Naveen Henakankanamage

පසුගිය අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිවල දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මෙන්ම ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ නවීන් හේනකන්කානම්ගේ වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකත්වයට තේරී පත් වී ඇත.  

20න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට 25 දෙනෙකුගේ සංචිතයක්

වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පළමුව…

ඔහුට පැවරී ඇති කාර්ය භාරය වන්නේ එළඹෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ආරක්ෂා කර ගැනීම යි. මෙම තරගාවලිය මෙම වසරේ දී ද හොංකොං හි දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නවීන් සමඟ ක්‍රීඩකයන් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පිටත් වීමට නියමිතයි.

පසුගිය වාරයේ දී මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කෙවින් ඩික්සන් යටතේ සහභාගී වූ අතර එහි දී සමස්ත ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. නවීන්ගේ නායකත්වය සඳහා පත්වීම ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුවේ සභාපති මයිකල් ජයසේකර මහතා විසින් සනාථ කර ඇත.

නවීන් හේනකන්කානම්ගේ මෙම තනතුරට ගැළපෙනම ක්‍රීඩකයා බව අවිවාදිතය. පසුගිය අන්තර් පාසල් රග්බි තරගාවලිවල දී මෙන්ම වෘත්තීය මට්ටමේ රග්බි තරගාවලිවල දී ද ඔහු ඉහල දක්ෂතා පෙන්නුම් කරන්නට සමත් විය. නවීන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම නිමා වූ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ දී ශූරතාවය ලබා ගැනීම සඳහා මෙහෙයවූ අතර පසු ගිය වසරේ එම ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලයට රැගෙන ඒමට මහඟු දායකත්වයක් සැපයූ ක්‍රීඩකයෙකු ද වීම විශේෂත්වයකි.

ඔහුගේ දක්ෂතා පාසල් අංශය සඳහා සීමා නොවන අතර නිමා වූ ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ දී එටිසලාට් පැන්තර්ස් කණ්ඩායම නියෝජනය කළ අතර එහි දී ද සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් විය. එමෙන්ම 47 වන වරට පැවති වෙළඳසේවා සත් සාමාජික රග්බි තරගාවලියේ දී ඇක්සස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයන් අතර තම නම රැඳවීමට ද නවීන් හේනකන්කානම්ගේ සමත් විය.

නවීන් හේනකන්කානම්ගේ ජාතික කණ්ඩායමක නායකත්වයට පත් වන 3වන අවස්ථාව මෙය වේ. එමෙන්ම ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සංචිතය තුල සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයෙකු ද වේ. පසුගිය වසරේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ කණ්ඩායම ඔහු යටතේ හොංකොං හි දී හා චීන තායිපේ හි දී තරගාවලි දෙකකට සහභාගී වූ අතර එහි දී පිළිවෙළින් පළඟ ශූරතාවය හා කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.  

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට