2020 පාසල් මහා තරග වීරයෝ – බවන්ත ජයසිංහ

976

පන්දු රකින, පන්දුවට වැරෙන් පහර දෙන, පන්දු යැවිය හැකි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ වටිනාකම අනෙක් ක්‍රීඩකයින්ට වඩා ටිකක් හරි වැඩි බව අපිට පිළිගන්නම වෙනවා. අපි “පාසල් මහා තරග වීරයෝ” ලිපි මාලාවේ මෙවර අවධානය යොමු කරන්න හදන්නේ තර්ස්ටන් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බවන්ත ජයසිංහ ගැනයි.

>> 2020 පාසල් මහා තරග වීරයෝ – දිනෙත් ජයකොඩි

බවන්ත ජයසිංහ ගොඩක්ම ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙන්න ගත්තේ 2020 වසරේ තිබ්බ සහෝදරයින්ගේ සටනෙන් පස්සේ. ප්‍රේක්ෂකයින් කියලා කිව්වේ පාසල් ක්‍රිකට් ගැන වැඩි අවධානයෙන් ඉන්න ප්‍රේක්ෂකයින්. ඉතින් තර්ස්ටන් විද්‍යාලය මෙවර සහෝදරයින්ගේ සටනටත් ආවේ මහා තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන වැඩි බලාපොරොත්තු ඇතිව වුනත් තරගයේ පීඩනය නිසා දෝ ඔවුන්ගේ නමගිය පිතිකරුවන් හට ද ඒ මහා තරගයේ දී සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ.

ඒ කොහොම වුනත් සිය දෙවැනි මහා තරගයට ක්‍රීඩා කරපු බවන්ත මෙවර මහා තරගයත් (2020) සාමාන්‍ය විදිහේ තරගයක් විදිහට අරගෙන ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා තර්ස්ටන් පළමු ඉනිමේ ලකුණු සටහන ලකුණු 289ක් දක්වා රැගෙන යන්න සහය වුනා. එතැන දී බවන්තගේ පිත්තෙන් ලකුණු 137ක් වාර්තා වුනා. SSC පිටියේ දී පැවැත්වුණු 57 වැනි සහෝදරයින්ගේ මහා තරගයේ දී 4 පහර 9ක් හා 6 පහර 4ක් එක්ක බවන්ත මේ ලකුණු 137 ලබා ගත්තේ පන්දු 134ක් තුල වීම එම ඉනිම කාගේ කාගේත් වැඩි අවධානයක් යොමුවුණු ප්‍රධානතම හේතුව වුනා. ඔහු ඒ ශතකයට අමතරව ඉසිපතන පළමු ඉනිමේ කඩුලු 4ක් ද දවා ගත්තේ උඩ පන්දුවක් ද රැකගෙනයි.

බවන්තගේ ක්‍රිකට් දිවියේ ආරම්භය

2002 නොවැම්බර් 10 වැනිදා මෙලොව එලිය දකින බවන්ත ජයසිංහ පවුලේ බාලයා. මුල ඉඳලම කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු බවන්ත 4 වසරේ ඒ කියන්නේ 2011 අවුරුද්දේ ඉඳන් තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොමුවනවා.

වයස අවුරුදු 9 දී ක්‍රිකට් සඳහා අත්පොත් තබන බවන්ත ඒ සඳහා යොමුවන්නේ සිය පියාණන් වන චමින්ද ජයසිංහ මහතා හරහායි. පසුව තර්ස්ටන් විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් සියල්ලේම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස කණ්ඩායම තුල නිත්‍ය ස්ථානයක් දිනා ගන්න බවන්තට පුළුවන් වුනා. ඒ ඔහුගේ තියෙන විශේෂ දක්ෂතා නිසයි. ඒ වගේම තර්ස්ටන් විද්‍යාල 15න් පහළ, 17න් පහළ කණ්ඩායමේ නායකයා වුනු බවන්ත මීළඟ වසරේ තර්ස්ටන් විද්‍යාල 19න් පහළ නායකයා වීමට සිටින ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටිනවා.

මම මුලින්ම ක්‍රිකට් පටන් ගත්තේ 4 වසරේ දී එතකොට මට වයස අවුරුදු 9යි. තාත්තා තමයි මාව ක්‍රිකට්වලට යොමු කළේ, තාත්තාත් පාසලේ ක්‍රිකට් ගහපු කෙනෙක් නිසා තාත්තටත් ඕන වුනා මාවත් ක්‍රිකට් වලට යොමු කරවන්න. මම පාසලේ පුහුණුවීම් වෙන ගමන් ක්‍රීඩා සමාජයකටත් ඇතුළත් වෙලා ක්‍රිකට් පුහුණුවීම් ලබාගත්තා. එතකොට මට වයස අවුරුදු 10යි.” බවන්ත ThePapare.com වෙත පවසා සිටියා.

15න් පහළ අන්තර් පළාත් ප්‍රීමා තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම – 2017

එහෙම ගිය බවන්ත මේ වෙනකොට වයස අවුරුදු 18ක නව යොවුන් වියේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු ඉඳන් අද වෙනකන් පාසල් ක්‍රිකට් සම්මේලනය විසින් මෙහෙයවන සෑම වයස් කාණ්ඩයකම ක්‍රිකට් තරගාවලි, 15න් පහළ අන්තර් පළාත් ප්‍රීමා තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම, වෙළඳසේවා ක්‍රිකට් තරගාවලි, පාසල් මහා තරග දෙකක්, එක්දින මහා තරගයක් සහ විස්සයි විස්ස මහා තරගයක් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කරලා තිබෙනවා.

>> 2020 පාසල් මහා තරග වීරයෝ – ශලින් ද මෙල්

බවන්තට පවුලෙන් ලැබෙන සහය

බවන්ත සිය පවුලේ සාමාජිකයින් සමඟ

අම්මා, තාත්තා ඒ වගේම අයියා එරංග ජයසිංහ ඇතුළු පවුලේ අය මම මේ ඉන්න තැනට එන්න මට ගොඩක් උදව් කළා. පුහුණුකරුවන් කොච්චර උදව් කරත් ගෙදර සහයෝගය නැත්නම් මොකුත් හරියට කරගන්න බැහැ. ඒක මට විතරක් නෙමේ ඕනම කෙනෙක්ට පොදු දෙයක්. අම්මා මැච් තියෙන දවස් මගෙන් අහගෙන මැච් දවස්ෙවලට විශේෂ කෑම බීම හදලා දෙනවා. ඒ වගේම මැච් නැති දවස් වලටත් මම මගේ ආහාර ටික හරියට ගන්නවා. ඒ ටික මට මගේ පවුලෙන් එදා ඉඳන් තාමත් මට හරියට කරලා දෙනවා. ඒ ගැන කියන්න මට වචන නැහැ.”

තරගයක් තියෙන කොට තාත්තා මාව තරගයට ගිහින් දානවා. අම්මයි තාත්තායි දෙන්නම ඇවිත් ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් තරග නරඹනවා. කොච්චර ප්‍රේක්ෂකයෝ හිටියත් වැඩක් නැහැ. ඒ දෙන්නා ගහන අත්පුඩියක් සහ ඒ දෙන්නා මගේ දස්කම් බලා සතුටු වෙනවා දකිනවා කියන්නේ මට මාරම සතුටක්. ඒ  සතුට වචනවලට කියන්න හරිම අමාරුයි. අයියත් ක්‍රිකට් ගහලා තියෙන නිසා අයියත් මට ගොඩක් උදව් කරනවා පුළුවන් පුළුවන් වෙලාවට. ඒ වගේම තාත්තයි මායි වෙලාව තියෙන විදිහට ක්‍රිකට් පුහුණුවීම් වල නිරත වෙනවා. අපේ පවුල ක්‍රිකට් එක්ක ලොකු සම්බන්ධයක් තියෙන එක මගේ ක්‍රිකට් ඉදිරි ගමනටත් ලොකු හයියක්” බවන්ත සිය ක්‍රිකට් දිවියේ සවිය සඳහා පවුලෙන් ලැබෙන සහය ගැන වදන් වලට හැරෙව්වා.

පාසලෙන් සහ පුහුණුකරුවන්ගෙන් ලැබෙන/ලැබුණු සහය

මගේ පාසලේ පළවෙනි පුහුණුකරු වුනේ නිශාන්ත සර්. සර් මට ගොඩක් උදව් කළා පොඩි කාලේ ඉඳන්. මම පොඩි කාලේ ඉඳන් හොඳට සෙල්ලම් කරපු නිසා මාව 13න් පහළ ටීම් එකටත් ගත්තා.

ශෙහාන් සර්, අමල් සර්, මිහිරාන් සර්ලත් මගේ ක්‍රිකට් දිවිය මේ තැනට ගෙන්න උදව් කරපු සර්ලා. මම ඉස්සර ඉඳන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්, හැබැයි මම වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට එනකන් පිට දඟපන්දු තමයි යැවුවේ. පස්සේ දිනුක් සර් මාව වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට වෙනස් කළා. ඒකට ගොඩක් හේතු වුනේ මගේ ඇඟේ හැකියාව සහ ශරීර ලක්ෂණ. ෆීලික්ස්, සුනෙත් සහ ජයතු සර්ලා මට අවුරුදු 15න් පහළ ටීම් එකට සෙල්ලම් කරන කාලේ ඉඳන් ගොඩක් උදව් කළා. පස්සේ මම එතැනත් හොඳට කරපු නිසා වයස අවුරුදු 17න් පහළ ටීම් එකට මාව තේරුණා. එතනට මාව ගත්තේ සමන් හේවාවිතාරණ සර්.

15න් පහළ ප්‍රීමා අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පිතිකරණයේ නිරත වෙන බවන්ත

ඒ වගේම 19න් පහළ කණ්ඩායමට ආවමත් ගොඩක් පුහුණුකරුවන් මට උදව් කරලා තියෙනවා. විශේෂයෙන් තාමර අබේරත්න සර්, ඒ වගේම මගේ ශාරීරික යෝග්‍යතාවය බලපු ආලෝක සර් ඇතුළු සර්ලා ගොඩක් මගේ මේ ක්‍රිකට් ගමන මේතාක් මට්ටමකට හරි ගේන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ හැමෝටම ස්තූති කරන්න මේක මම අවස්ථාවක් කරගන්නවා” යැයි බවන්ත සිය පුහුණුකරුවන් වෙත තුති පිදුවා.

ක්‍රිකට් දිවියේ සොඳුරු මතක

56 වැනි සහෝදරයින්ගේ සටනේ ලකුණු 37කට කඩුලු 5ක් බවන්ත ජයසිංහ

බවන්ත ඔහුගේ පාසල නියෝජනය කරමින් පළමු මහා තරගයට ක්‍රීඩා කරන්නේ 2019 වසරේ දී එතකොට ඔහුට වයස අවුරුදු 16යි. ඔහුගේ පළමු මහා තරගය වුනු 56 වැනි සහෝදරයින්ගේ සටනේ දීම ලකුණු 37කට කඩුලු 5ක් සහ ලකුණු 27කට කඩුල්ලක් දවාගන්න බවන්ත, පළමු ඉනිමේ දී පිතිකරුවෙක් විදිහට සාර්ථක වුනේ නම් නැහැ. ඒ ඔහු මුහුණ දුන්න පළවෙනි පන්දුවෙන්ම දැවී ගිය නිසා.

2015 වෙළඳසේවා අන්තර් නිවාස ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ හොඳම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයා බවන්ත

ඒ  කොහොම වුනත් අවසානයේ දී 2019 සහෝදරයින්ගේ මහා සටන තර්ස්ටන් විද්‍යාලය ජය ගත්තා. ඊට පස්සේ තිබ්බ එක්දින තරගයේ දී නොදැවී ලකුණු 27*ක් ලබා ගත්තේ දවා ගත් කඩුල්ලට අමතරවයි. ඒ ඔක්කොම දස්කම්වලින් පසුව 2020 මහා තරගයේ දී වීරයා ලෙස අභිෂේක ලබන්න බවන්ත සමත් වුනා. 

“2020 මහා තරගයට එන්න කලින් මම ගොඩක් පුහුණුවීම් කළා. මහන්සි වුනා වගේම කැපවුණා. මොනදේ වුනත් මම ලොකු පීඩනයක් ගත්තේ නැහැ මහා තරගයට කලින්. පළවෙනි මහා තරගයේ ලකුණු නොලබාම දැවී ගියාම මට ලොකු දුකක් ඇතිවුනා. මහන්සිය සහ කැපවීමට අමතරව එදා ඒ දැනුණ දුකම තමයි මේ අවුරුද්දේ මහා තරගයේ දී ශතකය ලබාගන්න ගොඩක් හේතු වුනේ.”

ඒ වගේම ඔහු වයස අවුරුදු 13න් පහළ තරගාවලියේ දී (2015 දී) කොට්ටාව ධර්මපාල විද්‍යාලයට එරෙහිව පන්දු 11ක දී ලකුණු 50ක් ලබාගෙන දස්කම් දක්වා ඇති අතරම 2018 වසරේ වයස අවුරුදු 17න් පහළ තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව එක් පන්දු වාරයකට ලකුණු 37ක් ලබාගෙන දස්කම් දක්වා තිබෙනවා.

බවන්තගේ අනාගත බලාපොරොත්තුව

2019 වසරේ දී වසර 27කට පසුව තර්ස්ටන් විද්‍යාලය සහෝදරයින්ගේ ශූරතාවය ජයග්‍රහණ කළ ඒ අවස්ථාව

හැමෝටම වගේ මගෙත් අවසන් බලාපොරොත්තුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන එක. හැබැයි එක මම කියනවා වගේ ලේසි වැඩක් නෙමෙයි කියලා මම තේරුම් අරගෙන ඉන්නේ. හැබැයි මහන්සි වෙලා, කැපවෙලා හරියට හොඳට ක්‍රීඩා කළොත් ඒ දේ ලබාගන්න එක එච්චර අමාරු නැහැ. අනික් එක තමයි එතනට එක පාරටම යන්න බැහැ. පාසලේ ක්‍රීඩා කරලා. ක්‍රීඩා සමාජ මට්ටමින් දේශීය පළමු පෙළ ක්‍රිකට් ගහලා එතනට ගියාම පැවැත්ම වැඩියි. මොකද එතකොට අපි දන්නවා අපේ හැකියාවන් සහ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.”

>>57 වැනි සහෝදරයින්ගේ සටනේ අවසන් දිනයේ ඡායාරූප ඇල්බමය <<

අවසන් වශයෙන්,

මම මේ දැන් ඉන්න තැනට එන්න උදව් කරපු මගේ අම්මා, තාත්තා, නෑදෑ හිතමිතුරන්, කුඩා කාලයේ ඉඳන් මේ වෙනකන් උදව් කරපු හැම පුහුණුකරුවෙක්වම, පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම ගුරුවරුන්, පාසලේ ආදී ශිෂ්‍ය සංගමය, අපේ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ පරණ හිටපු නායකයින්, මාත් එක්ක එකට ක්‍රීඩා කරපු කණ්ඩායමේ සහෝදර ක්‍රීඩකයින්, පාසලේ මගේ ළඟින්ම හිටපු මිතුරන් වගේම මට උදව් කරපු හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අවසන් වසර වෙන ලබන අවුරුද්දෙදීත් මගේ උපරිම දස්කම් පාසල වෙනුවෙන් දක්වලා හොඳ පාසල් ක්‍රිකට් දිවියක් නිමා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි බවන්ත පැවසුවේ දහසකුත් බලාපොරොත්තු සිය දෑස් තුල දල්වාගෙනයි.

මෙවර පාසල් මහා තරගවල විශිෂ්ට දස්කම් දක්වපු ක්‍රීඩකයින් ගැන තවත් විශේෂාංග ලිපි කිහිපයක්ම නුදුරු දින කිහිපය තුල ඔබ වෙත ගෙන එන්න ThePapare.com සූදානම්. ඔබේ පාසලේ දක්ෂතමයත් ඒ අතර ඉන්න පුළුවන්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<