දිමුත්ගේ 90 ගැටලු විසඳන්නට හෂාන්ගෙන් පොරොන්දුවක්

රෙක්ස් ක්ලෙමන්ටයින් - ඩුබායි සිට

3093

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකාර ධූරය දරන හෂාන් තිලකරත්න දක්‍ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණු අප්‍රිකාවේ දී ශ්‍රී ලාංකිකයෙකු වාර්තා කර ගත් පළමු ටෙස්ට් ශතකය ඔහු විසින් වාර්තා කර ගත් අතර ඔහු ඕස්ට්‍රේලියාවේ දී ශතකයක් වාර්තා කර ගත් දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ද වේ.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ශතක 11කට හිමිකම් කියන අතර ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ 8 වෙනි ස්ථානයේ පසුවෙයි. ඔහු තම ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ ලකුණු 90 සීමාවේ දී පස් වතාවක් දැවී ගොස් ඇති අතර එසේ නොවන්නට ඔහු ලබාගෙන ඇති ශතක සංඛ්‍යාව තවත් ඉහළ යන්නට ඉඩ තිබුණි. කෙසේ නමුත් හෂාන් විශ්වාස කරන අන්දමට ඔහුගේ මෙම අත්දැකීම එම ගැටලුවට වර්තමානයේ දී මුහුණ දෙන ක්‍රීඩකයෙක් වන දිමුත් කරුණාරත්න එයින් ගලවා ගැනීමට උදව් වනු ඇත.

දිමුත්ගේ ශතකයෙන් හැඩවුණු ඉනිම පාකිස්තානුවන් හඹායාම අරඹයි!

පාකිස්තානු – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය (07) නිමා වෙද්දී තරගය තුල සුරක්ෂිත වන්නට ශ්‍රී ලංකා පිළ සමත් වී…

මේ වන විට ඩුබායි හිදී පැවැත්වෙන පාකිස්තානය සමඟ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී දිමුත් ලකුණු 196ක් වාර්තා කර ගන්නට සමත් විය. එම ඉනිම පුරාවට ඔහු ඉතා සූක්ෂමව ක්‍රීඩා කළ නමුත් අවසානයේ සිය අවධානය ගිලිහී යාම හේතුවෙන් වහාබ් රියාස් විසින් යොමු කළ පන්දුවක් හමුවේ පන්දුව පිත්තේ වැදී ඔහුගේ ශරීරයේ වැදීමෙන් අනතුරුව පන්දුව කඩුල්ල මත පතිත වීම නිසා ඔහු දැවී ගියේය.

පැ ය 9 මිනිත්තු 30ක කාලයක් පුරාවට ඔහු ක්‍රීඩා කළ මෙම ඉනිම තුළ ඔහු පන්දු 450කට මුහුණ දෙන ලදි. එමෙන්ම එම ඉනිම 4 පහර 19කින් සහ එක් 6 පහරකින් වර්ණවත් විය.

තරගාවලියේ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ලකුණු 93ක් ලබාගෙන සිටිය දී දුවද්දී දැවී යාමකට ලක්වූ අතර මීට මාස 2කට ඉහත දී ඉන්දියානු කණ්ඩායම හමුවේ ද ඔහු ලකුණු 97ක් වාර්තා කරගෙන සිටිය දී දැවී යාම හේතුවෙන් ශතකයක් ලබා ගැනීමේ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියේය. එමෙන්ම මෙම ඉනිමේ දී ද ලකුණු 180 සීමාව පසුකළ පසු ඔහුගේ නිදහස් ක්‍රීඩා විලාශයේ වෙනසක් සිදු විය.

“දිමුත් මේ වගේ විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගත්ත එක ගැන ගොඩක් සතුටුයි. ඔහු ඉනිම පුරාවට පන්දුවට හොඳින් පහර දුන්නා. ඔහු පසුගිය කාලය පුරාවටම හොඳින් ලකුණු අතර සිටියා. ඉතින් ඔහුගේ මෙම ඉනිම ඉතා විශිෂ්ට ගණයේ ඉනිමක්. ඔහු ලකුණු 90 පසුකළ පසු ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳව අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ ගැන එච්චර හිතන්න දෙයක් නැහැ.”

මාධ්‍යවේදීන් අමතමින් තිලකරත්න ප්‍රකාශ කළේය.

දිමුත් දියුණු කරගෙන ඇති තවත් අංශයක් ලෙස පළමු ඉනිමේ දී ලකුණු රැස්කිරීම හඳුනා ගත හැක. 2015 වසරේ දී ගාල්ලේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී ලකුණු 185ක් වාර්තා කර ගැනීමෙන් අනතුරුව පසුගිය වසර 2ක කාලය පුරාවට ටෙස්ට් තරග 21කදී ඔහු ටෙස්ට් ශතකයක් වාර්තා කර ගැනීමට අපොහොසත් වී ඇත.

තිරිමාන්න ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමේ සටනක

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් උපනායක ලහිරු තිරිමාන්න අද (06) ඩුබායි හීදී ආරම්භ වන පාකිස්තානය සමඟ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සිය…

“මෙම තරගාවලිය ආරම්භ වෙන්න කලින් මම ඔහු සමඟ පළමු ඉනිමේ දී ක්‍රීඩා කළ යුතු ආකාරය ගැන කතා කළා. අපිට අවශ්‍ය වුණේ ඔහු පීඩනයකින් තොරව පන්දුවට පහර දෙන්න. ඔහු ඒක හොඳින් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා ඔහු ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව ගොඩක් සතුටුයි.”

තිලකරත්න තවදුරටත් පවසා සිටියේය.

තරගයේ පළමු ඉනිමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හොඳින් දස්කම් දැක්වීමට සමත් වූ අතර එහි දී දිමුත්ගේ ශතකයට තවත් අර්ධ ශතක 3කින් සහයෝගය එක්විය.  ඒ අනුව නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 52ක් සහ දිල්රුවන් පෙරේරා ලකුණු 58ක් වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

එමෙන්ම ඉනිම තුළ ශක්තිමත් සබඳතා 3ක් ද වාර්තා විය. දිමුත් චන්දිමාල් සමඟ එක්ව 4 වන කඩුල්ලට ලකුණු 146ක සබඳතාවක් ගොඩනැඟූ අතර ඉන් අනතුරුව 5 වන කඩුල්ලට ද දිමුත් හා දික්වැල්ල එක්ව ලකුණු 88ක සබඳතාවක් ගොඩනඟන්නට සමත් විය. පසුව දිමුත් දැවී යන විට ඔහු හා දිල්රුවන් එක්ව 6 වන කඩුල්ලට එක්කළ තිබූ ලකුණු සංඛ්‍යාව 59කි.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල ද මෙම තරගාවලිය පුරාවට ඉහළ දස්කම් අතර සිටින අතර ඔහු ඉනිම් තුනේ දී පිළිවෙළින් ලකුණු 83ක්, නොදැවී ලකුණු 40ක් සහ ලකුණු 52ක් වාර්තා කර ගන්නට සමත්ව ඇත. ඉන්දීය තරගාවලිය පුරාවට ඔහු අනවශ්‍ය ලෙස නිකරුණේ දැවී යනු දැක ගත හැකි වූ නමුත් මෙම තරගාවලියේ දී ඔහු වඩාත් අවධානයකින් යුතුව ක්‍රීඩා කරනු දැක ගත හැකි විය.

“ඉන්දියානු තරගාවලියේ දික්වැල්ල ඔහු ලකුණු අතර සිටියා. නමුත් මේ අවස්ථාවේ දී ඔහු ඊට වඩා ස්ථාවරව ක්‍රීඩා කරනවා.”

තිලකරත්න පැවසීය.

CricketryDay 02

Uploaded by ThePapare.com on 2017-10-07.

අනතුරුව පාකිස්තාන ඉනිමේ දී විදුලි ආලෝකය මධ්‍යයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පාකිස්තාන පිතිකරුවන් හට ඉහළ පීඩනයක් එල්ල කළ අතර ලහිරු ගමගේ, සුරංග ලක්මාල් මෙන්ම දිල්රුවන් පෙරේරා ද හොඳින් පන්දු යැවීමට සමත් විය. කෙසේ නමුත් දිනය නිමා වන විට පකිස්ථානය කිසිවෙකු නොදැවී ලකුණු 51ක් රැස්කර ගැනීමට සමත් විය.

“තරගයේ පළමු දිනයේ ඉඳන්ම පන්දුව හොඳින් දඟ කැවුණා. අපි විශ්වාස කරනවා අද (08) ඉඳන් පන්දුවේ දඟ කැවීම තවදුරටත් වැඩි වෙයි කියලා. ඒ අනුව අපි හොඳ තරගයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. පාකිස්තාන කණ්ඩායමට හොඳ පිතිකරණ බලඇණියක් සිටිනවා. ඒ නිසා අපිට හොඳ සැලැස්මක් ඇතිව ක්‍රීඩා කරලා ඉක්මන් කඩුලු කිහිපයක් ලබාගන්න වෙනවා.”

පාකිස්තාන කණ්ඩායමේ ජාත්‍යන්තර තරග පාකිස්තානයෙන් ඔබ්බට මාරු වීමෙන් අනතුරුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වී නැති අතර ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මේ වන විට ඉතිහාසය වෙනස් කිරීමට හඹා යමින් සිටියි. අනෙක් පසින් ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුගිය වසර 3ක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් පිටත දී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඔවුන්ට වඩා ඉහළින් පසුවන කණ්ඩායමකට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගන්නට සමත්ව නැත.

තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අබුඩාබි හිදී පැවති පළමු තරගය ලකුණු 21කින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මේ වන විට තරග 1-0ක් වශයෙන් තරගාවලියේ ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව දෙරට අතර එක්දින තරග 5ක තරගාවලියක් සහ පන්දුවාර 20 තරග 3ක තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය ජයග්‍රහණය කළහොත් ඔවුන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පාකිස්තානය අභිබවා 6 වන ස්ථානය දක්වා ඉහළ යනු ඇත.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න