ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 2 වැනි ජයත් වාර්තා කරයි

135
ICC Women's T20 World Cup Qualifier

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් ව සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (27) ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් තරගාවලියේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු අසුන වෙන්කර ගැනීමට ද සමත් වූවා.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 94ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කිසිවෙක් නොදැවී ලකුණු 95ක් ලබා ගත්තා.

2 වැනි තරගය, A කාණ්ඩය (රාත්‍රී), අබුඩාබි, අප්‍රේල් 25, 2024, ICC Women’s T20 World Cup Qualifier

o කාසියේ වාසිය – ශ්‍රී ලංකාව

o ක්‍රීඩාංගණය – Zayed Cricket Stadium, අබුඩාබි.

o තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – කවීෂා දිල්හාරි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හංසිමා කරුණාරත්න, කවීශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), උදේශිකා ප්‍රබෝධනී, සුගන්දිකා කුමාරි, අචිනි කුලසූරිය, ඉනෝෂි ප්‍රියදර්ශනී.

ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – Kathryn Bryce (නායිකාව), Darcey Carter, Saskia Horley, Sarah Bryce, Ailsa Lister (කඩුලු රකින්නිය), Priyanaz Chatterji, Lorna Jack, Katherine Fraser, Rachel Slater, Chloe Abel, Abtaha Maqsood.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ආරම්භය සම්පූර්ණයෙන් ම අසාර්ථක කිරීමට ඉනෝෂි ප්‍රියදර්ශනී සමත් වූවා.

ඇය ප්‍රතිවාදී ඉනිමේ පළමු කඩුල්ල තම පළමු පන්දුවාරයේ දී ම දවා ගත් අතර ඉන් අනතුරුව ඉනිමේ 10 වැනි පන්දුවාරය තුළ දී නැවත කඩුලු 2ක් දවා ගනිමින් ස්කොට්ලන්තය අසරණ කළා. ඒ වෙද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5කට ලකුණු 51ක් ලෙසයි.

කෙසේ වෙතත් ස්කොට්ලන්තයට එරෙහි ව හොඳම පන්දු යැවීම වාර්තා කළේ කවිශා දිල්හාරි. ඇය ඉනිමේ 17 වැනි පන්දු වාරයේ දී පිට පිට පන්දු දෙකක දී ලබා ගත් කඩුලු 2ක් සමඟින් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තා.

ඊට අමතර ව සුගන්දිකා කුමාරි කඩුලු 2ක් ද සහ අචිනි කුලසූරිය කඩුල්ලක් ද ලබා ගත්තා.

ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Lorna Jack. ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා ගත්තා. ඊට අමතර ව නායිකාව වන Kathryn Bryce පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදී ඉලක්කය පන්දු 61ක දී කිසිදු කඩුල්ලක් ලබා නොදෙමින් සපුරා ගත්තා. එහි දී නායිකා චමරි අතපත්තු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද සහ විශ්මි ගුණරත්න පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා ගත්තා.

චමරි අතපත්තු මෙම තරගයේ දී වාර්තා කළේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ 10 වැනි අර්ධ ශතකයයි.

 තරගයේ කෙටි ලකුණු පුවරුව

ස්කොට්ලන්තය – සියලුම දෙනා දැවී 94 (18.1) Kathryn Bryce 22, Lorna Jack 24, ඉනෝෂි ප්‍රියදර්ශනි 3/11, සුගන්දිකා කුමාරි 2/27, කවීෂා දිල්හාරි 4/13

ශ්‍රී ලංකාව – කිසිවෙක් නොදැවී 95 (10.1) විශ්මි ගුණරත්න නොදැවී 24, චමරි අතපත්තු නොදැවී 59

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියේ දී සහභාගී වෙන 3 වැනි තරගය මැයි මස 01 වැනිදා උගන්ඩාව සමඟින් Abu Dhabi හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<