කලක් තිස්සේ සිහිනයක්ව තිබූ අම්බලන්ගොඩ සිහිනයක් සැබෑ වෙයි

431
Redeveloped Ambalangoda Urban Council Ground
Image Credits - SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා අමාත්‍යාංශය සහ අම්බලන්ගොඩ නගර සභාවේ මූල්‍ය අනුග්‍රහය ඇතිව පිට පළාත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ඉතා අඩු පහසුකම් යටතේ පැවති අම්බලන්ගොඩ නගර සභා පිටිය ප්‍රධාන තණතීරු (Turf) පහක් සහ පහසුකම් රැසක් සහිතව නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පසුගිය ඉරිදා (පෙබරවාරි 14) පැවැත්වුනා.

මුළු ක්‍රීඩාංගණයම ආවරණය වන පරිදි තණකොළ එළීම, තීරු 3කින් සමන්විත තණතීරුවක්, මැටින් විකට්ටුවක්, පුහුණු පැති විකට්ටු 5ක් සහ චලනය කළ හැකි ආකාරයේ දර්ශන තිර 2ක් , එම ප්‍රතිනිර්මාණය සැලසුමට ඇතුළත්.

ඊට අමතරව ක්‍රීඩාංගණය සහ තණතීරුව නඩත්තුව සඳහා යොදා ගනු ලබන නඩත්තු උපකරණ තොගයක් ද එදින ක්‍රීඩාංගණ භාරකරුවන්ට ලබා දීම විශේෂත්වයක් වුනා. ඒ අතරට තලන යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර, හතරේ සීමාව ආසන්නයේ තණකොළ කැපීමට භාවිතා කරන යන්ත්‍ර සහ ට්‍රැක්ටර් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ක්‍රීඩාංගණය ජනතා අයිතියට පැවරීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, උපසභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න සහ ආචාර්ය ජයන්ත ධර්මදාස, ජාතික ක්‍රිකට් සංවර්ධන අංශ ප්‍රධානී කමල් ධර්මසිරි, අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් සහ ගාලු ක්‍රීඩා සමාජයේ සභාපති සහ ලලිත් හැළඹගේ සහ එහි ලේකම් ජයන්ත ජයවීර යන මහත්වරු සහභාගි විය. මෙම පිරිසට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අජිත් ද සිල්වා සහ උපුල් තරංග යන මහත්වරු ද සහභාගී වුනා.

  • Image Credits - SLC

කාණ්ඩ දෙකක් යටතේ සිදු කෙරුණු මෙම ක්‍රීඩාංගණ විවෘත කිරීමේ දී ප්‍රථමයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ක්‍රීඩාංගණය විවෘත වුනා. මේ අතර 2014 වසරේ දී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය වෙත ලබා දී තිබුණු ගෘහස්ථ දැල් සංකීර්ණය ද ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීම, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුනා. එම නවීකරණය කරන ලද ගෘහස්ථ ක්‍රීඩාංගණය හිටපු ගාලු දිස්ත්‍රික් සභාපති ප්‍රේමසිරි හැළඹගේ මහතා සිහිකිරීම පිණිස  (Halambage Premasiri Indoor Cricket Stadium) නමින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් බිහි කළ අම්බලන්ගොඩ ප්‍රධාන ක්‍රීඩා සමාජ වන රියෝ සහ සිංහ ක්‍රිකට් සමාජ ඇතුළු ධර්මාශෝක, දේවානන්ද, කුලරත්න විදුහල් අමතරව අවට පාසල් රැසක ක්‍රිකට් කණ්ඩායම්වලට මෙමගින් පහසුකම් සැලසෙනවා.

අම්බලන්ගොඩ පුරවරයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පිවිසුණු උපුල් තරංග, ද සිල්වා,ඇතුළු ක්‍රීඩකයන් රැසක් මෙම උත්සව අවස්ථාවට සහභාගී වී සිටියා.

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරගෙන යනු ලබන ‘ගමට ක්‍රිකට්’ වැඩපිළිවෙළ යටතේ ජාතික මට්ටමේ සියලුම පහසුකම්වලින් සමන්විත තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණ 5ක් ඉදිරි වසරක කාලයක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

රත්නපුර (මොනරවිල) ක්‍රීඩාංගණය, බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස සංවර්ධනය වන ක්‍රීඩාංගණයන්.

එම ක්‍රීඩාංගණ අතරින් පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ ඉදිරි තෙමස ඇතුළත විවෘත කෙරෙන අතර සෙසු ක්‍රීඩාංගණ ඉදිරි තෙවසරක කාලය ඇතුළත නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ ප්‍රධානී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

රත්නපුර, පොලොන්නරුව සහ යාපනය ප්‍රදේශයන්හි හිස්භූමි භාගයන්හි ඉදිවන මෙම ක්‍රීඩාංගණවලට තණතීරු දහය බැගින් වූ ප්‍රධාන තණතීරුවලට අමතරව පැති විකට්ටු ද සපයනු ලැබෙනවා. මීට අමතරව මෙහි අලුතින් තණකොළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<