Red Bull Ride My Wave තරගාවලිය සාර්ථකව නිමා වෙයි

Red Bull Ride My Wave සර්ෆින් තරගාවලිය 2022

564
Red Bull Ride My Wave 2022

Red Bull Ride My Wave සර්ෆින් තරගාවලිය ඉකුත් ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේ දී අතිසාර්ථක ලෙස පැවැත්විණි.

දේශීය සර්ෆින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් ලබා දීම සහ ශ‍්‍රී ලංකාව සර්ෆින් ක්‍රීඩාවට ඉතාමත් සුදුසු රටක් බව ලොවට පෙන්වා දීම යන අරමුණු මුල්කරගෙන සංවිධානය කරන ලද මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉතාමත් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණු අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 දෙනෙකුට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූහ.

මෙවර Red Bull Ride My Wave තරගාවලියේ පිරිමි කාණ්ඩය යටතේ තරගවාර 96ක් පැවැත්වුණු අතර ඊට සහභාගී වූ දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩකයන් සංඛ්‍යාව 81කි.

දෙවැනි වටයේ පිරිමි සුදුසුකම් ලැබීමේ තරගවාර 12කට ක්‍රීඩකයෝ 45 දෙනෙක් එක්වූහ. තුන්වැනි වටයේ තරගවාර 6කට තරගකරුවන් 18 දෙනෙකු සහභාගී වූ අතර, අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් සංඛ්‍යාව 12කි.

අවසන් පූර්ව තරග සඳහා තරගකරුවන් 6 දෙනෙක් ද, අවසන් අදියරේ ‘King of the Wave’ කිරුළ සඳහා තරගකරුවන් 4 දෙනෙක් ද තරග වැදුණහ.

කාන්තා අංශය යටතේ තරග ඉසව් 8ක් සඳහා තරග වැදුණු ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 23කි. අර්ධ අවසන් පූර්ව තරග ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති තරගවාර 4කින් ද, අවසන් පූර්ව තරග ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සහභාගී වූ තරගවාර 2කින් ද සමන්විත වූ අතර, අවසන් තරගයේ ‘Queen of the Wave’ කිරුළ සඳහා ක්‍රීඩිකාවෝ 4 දෙනෙක් තරග වැදුණහ.

Red Bull Ride My Wave තරගාවලියට ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට අධික පිරිසක් සහභාගී වීමත්, ඒ අතරට ශ‍්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ඇතුළත් වීමත් අපට මහත් සතුටක්. මේ ආකාරයට ශ‍්‍රී ලංකාවේ සර්ෆින් ක්‍රීඩාවේ නියුතු පිරිසට ශක්තියක් වීමට හැකි වීම ගැන අප නිහතමානීව සතුටු වනවා. ඉදිරියේ දී ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් මෙම තරගවලට එක් වනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි”, Red Bull Ride My Wave තරගාවලියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සන්දික තුෂාර හෙවත් මම්බෝ පැවසීය.

මෙම වසරේ Red Bull Ride My Wave තරගාවලියට ඔස්ට්‍රියාව,  ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, ජර්මනිය, එස්තෝනියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිසක් එක්වූහ. තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන සහ මුදල් ත්‍යාග ද පිරිනමන ලදි.

පිරිමි අංශයේ ජය ලකුණු 13.8ක් ලබා ගත් ලක්ෂිත තාරක හෙවත් ලකී වෙත හිමි විය. දෙවැනි ස්ථානය ලකුණු 12.4ක් ලබා ගත් සචින් තාරක විසින් ද, තුන්වැනි ස්ථානය ලකුණු 10.6ක් ලබා ගත් ස්ටීව් සීලි විසින් ද දිනා ගන්නා ලදි.

මාලදිවයින් කණ්ඩායමේ කළමනාකරු වූ නාහු, Red Bull Ride My Wave ප්‍රධාන විනිශ්චයකරු ළහිරු විතානගේ සහ තරගාවලි අධ්‍යක්ෂ සන්දික තුෂාර විසින් ජයග්‍රාහකයන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදි.

ලකුණු 11.5ක් ලබා ගනිමින්, අඛණ්ඩව තුන්වැනි වරටත් Red Bull Ride My Wave තරගාවලියේ කාන්තා අංශයේ ජය හිමිකර ගැනීමට නිකිටා රොබ් සමත් වූවා ය. දෙවැනි ස්ථානය ලකුණු 5.6ක් ලබා ගත් කැමරූන් හයිනමන් වෙත ද, තුන්වැනි ස්ථානය ලකුණු 4.9ක් ලබා ගත් ක්රූට් ලැසන් වෙත ද හිමි විය.

විනිශ්චය මණ්ඩල සහායිකාවන් ලෙස කටයුතු කළ හිමාෂි වත්සලා, හිරුණි වත්සලා සහ  ඕෂි හේරත් විසින් ජයග්‍රාහිකාවන් වෙත ත්‍යාග ප්‍රදානය කරන ලදි.

සුපුරුදු ලෙසම මෙවර Red Bull Ride My Wave තරගාවලිය ද අතිශයින් සාර්ථක වූ අතර, ඉදිරි වසරවල දී ද අඛණ්ඩව මෙම තරගාවලිය පැවැත්වීමට Red Bull අපේක්ෂා කරයි. තමන් අනුග්‍රහය ලබා දෙන අනෙකුත් ක්‍රීඩාවල දී මෙන්ම දේශීය ප‍්‍රජාවන්ට අත්වැලක් වෙමින්, ඔවුන්ට තම දක්ෂතා කරළියට ගෙන ඒමටත්, එම දක්ෂතා ජාත්‍යන්තර තලයට රැගෙන යාමටත් අත්වැලක් සැපයීම Red Bull හි අරමුණ වී තිබේ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<