රග්බි උප සභාපතිගෙන් ඇමැතිලාට ටැකල් එකක්

108

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ නිලවරණය මේ වන විට අධිකරණ ක්‍රියා මාර්ගයක් දක්වා දිග්ගැස්සී ඇති අතර මෙවර උප සභාපති තනතුර සඳහා ඉදිරිපත් වී සිටින ලසිත ගුණරත්න මහතා තමාට අසාධාරණයක් සිදුවී ඇතැයි පවසමින් ක්‍රීඩා බලධාරීන් වග උත්තරකරුවන් කරමින් නඩුවක් පවරා ඇත.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ උප සභාපතිවරයකු ලෙස පසුගිය වසර හතරක කාලයක් සේවය කර ඇති ගුණරත්න මහතාට තවදුරටත් රග්බි පාපන්දු සංගමයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාරදීම සංශෝධිත ක්‍රීඩා පනතට අනුව නොහැකි යැයි යන කාරණය අභියෝගයට ලක් කරමින් ඔහු විසින් මෙම නඩුව පවරා ඇතැයි පැවැසේ. වත්මන් හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් දෙදෙනා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු ක්‍රීඩා බලධාරීන් වග උත්තරකරුවන් කරමින් ගුණරත්න මහතා විසින් පවරා ඇති නඩුවට වගඋත්තර බඳින ලෙස අධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට පසුගිය 25දා දන්වා ඇතැයි දැනගන්නට ඇත.

 ඒ අනුව කොළඹ අභියාචනාධිකරණයේ පවරා ඇති මෙම නඩුව විභාගයට ගැනීම ලබන ජුනි මස 19 වැනිදාට යෙදී ඇති අතර ඊට පෙර එනම් ලබන සතිය තුළදී ඊට වගඋත්තර බැඳීම සඳහා කටයුතු කරගෙන යන බවද ක්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරිනිය “මව්බිම”ට පැවැසුවාය.

කෙසේ වෙතත් ක්‍රීඩා පනතේ සඳහන් වසර 4ක් ඉක්මවා සේවය කරන ලද ක්‍රීඩා සංගමයක නිලධාරියකුට තවදුරටත් එම සංගමයේ තනතුරු දැරිය නොහැකිය යන වගන්තියට එරෙහිව රග්බි සංගම් උප සභාපතිවරයා මෙසේ නීතියේ පිහිට පැතීමට තීරණය කර ඇතැයි පැවැසේ. රග්බි සංගම් ප්‍රකාශකයකු මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා රග්බි සංගම් ව්‍යවස්ථාවට අනුව උප සභාපති තනතුරට අදාළව පමණක් සීමා රහිත කාලයක් ඕනෑම අයකුට එම තනතුර දැරිය හැකි බවයි. තවද ශ්‍රී ලංකා රග්බි සංගමයේ වත්මන් ව්‍යවස්ථාවද ක්‍රීඩා පනතට අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද එකක් බැවින්ද ශ්‍රී ලංකා රග්බි සංගමය කටයුතු කරන්නේ ඔවුන්ගේම ව්‍යවස්ථාවට අනුව පමණක් බවද ඔහු පැවැසීය.

තවදුරටත් අදහස් දැක්වූ එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ ව්‍යවස්ථාව අන්තර්ජාතික රග්බි පාපන්දු සංගමය විසින් අනුමත කරන ලද එකක් බැවින් ශ්‍රී ලංකා සංගමය වගකියන්නේ අන්තර්ජාතික රග්බි සංගමයට පමණක් බවයි. ඒ අනුව තම සංගමය කටයුතු කරන බව කී එම නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේ 2013 වසරේදී නව සංශෝධිත පනත සම්මත වූවාට පසුවද තවත් වසර 4ක කාලයකට බොහෝ ක්‍රීඩා සමංගම් නිලධාරීන්ට නිලවරණය සඳහා ඉදිරිපත් වීමට පසුගිය වාරයේදීද ඉඩ ලබාදුන් බවයි.