ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවය 2021

339

මේ දිනවල උස්බෙකිස්තානයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රීමාලි සමරකෝන් සමත්ව ඇත.

තරගාවලියේ කිලෝග්‍රෑම් 45 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි ශ්‍රීමාලි එම කාණ්ඩය යටතේ කිලෝග්‍රෑම් 136ක බරක් සාර්ථකව ඔසවා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත්ව තිබූ අතර මෙම ජයත් සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට ද ඇයට හැකි වුනා.

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ශ්‍රීමාලි සමරකෝන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණ අංශයේ ඉගනුම ලබමින් සිටී.

පාසල් වියේ සිටම බර ඉසිලීම ඉසව්වෙන් දස්කම් දැක්වීමට සමත් වූ ඇය 2015 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියේ දී රිදී පදක්කමක් සහ 2016 වසරේ පැවති යොවුන් ලෝක ශූරතාවයේ දී 14 වැන්නා ලෙස ඉසව්ව නිමා කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසියා.

එතැන් පටන් ජාත්‍යන්තර පිටියේ ද කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ශ්‍රීමාලී 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුනේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟිනුයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය පිටියේ ඉහළ දස්කම් දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමකින් ලක්මාතාව සැරසීමට සමත් වූ ශ්‍රීමාලි සමරකෝන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<