Vini මේ ගෝලය ඔබ වෙනුවෙනුයි!

177

Real Madrid පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ රසිකයින් විසින් මේ දිනවල දැඩි වර්ගවාදී ප්‍රහාර වලින් බැටකමින් සිටින Vinicius Jr වෙනුවෙන් පෙනී සිටිමින් ඔහුට සිය සහය ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා.

ඊයේ (24) Spanish La Liga තරගාවලියේ තරගයක් ලෙසින් Real Madrid සහ Rayo Vallecano කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී Real Madrid ක්‍රීඩකයින් සහ රසිකයින් සිය ක්‍රීඩකයා වෙනුවෙන් ඉදිරියට පැමිණෙන බව සංකේතාත්මක ව ඉඟි කළා.

බ්‍රසීලයෙන් බිහි වූ නවක පාපන්දු තරුවක් වන Vinicius විසින් කලක පටන් ම විවිධ ආකාරයේ වර්ගවාදී ප්‍රහාර වලට බඳුන් වෙමින් සිටින අතර පසුගිය ඉරිදා (21) දිනයේ Real Madrid සහ Valencia කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණු තරගය අතරතුර දී ඔහු ජාතිවාදී වශයෙන් වාචික අපයෝජනයන්ට ලක් වී තිබුණා.

මෙම තරගයෙන් Valencia හමුවේ ගෝල 1-0ක පරාජයක් අත්විඳීමට Real Madrid කණ්ඩායමට සිදු වූ අතර, තරගය අතරතුර ප්‍රේක්ෂකයකු විසින් තමන්ට අපහාස කළ බවයි Vini විසින් හෙළිදරව් කර තිබුණේ.

“එය පළමු, දෙවැනි හෝ තෙවැනි අවස්ථාව නෙවෙයි. La Liga හි ජාතිවාදය සාමාන්‍ය දෙයක්. ඔවුන් හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා.”

එම තරගයෙන් අනතුරුව Vini විසින් Twitter සහ Instagram සටහන් තබමින් ප්‍රකාශ කර තිබුණා.

“මේක මාව පිළිගත්, මම ආදරය කරන ලස්සන රටක්. නමුත් ඔවුන් ලෝකයට අපනයනය කරන ප්‍රතිරූපය ජාතිවාදී එකක්. මේ දේවල් වලට එකඟ නොවෙන ස්පාඤ්ඤ ජාතිකයින් මට සමාවෙන්න. නමුත් අද බ්‍රසීලය ස්පාඤ්ඤය ගැන දන්නේ වර්ගවාදී රටක් විදිහට.

මම ශක්තිමත්, ජාතිවාදීන්ට එරෙහිව මම මේ ගමන යනවා.”

පසුගිය ඉරිදා සිදුවීමෙන් පසුව මේ විසි දෙහැවිරිදි තරුණයා විසින් එසේ ප්‍රකාශ කර තිබුණා.

මෙම සිදුවීම ලෝකය පුරා පාපන්දු ලෝලීන් අතර කතාබහට ලක් වෙමින් තිබූ අතර, ඉරිදා තරගයෙන් පසුව නැවතත් Real Madrid කණ්ඩායමට තරගයක් යෙදී තිබුණේ ඊයේ දිනයේ දීයි.

නමුත් ආබාධයක් හේතුවෙන් Vinicius හට මෙම තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් ඔහුගේ අංකය වන අංක 20 සහිත කමිස පලඳිමින් ඊයේ තරගයට ක්‍රීඩා කළ Real Madrid පිටියට පිවිසුණේ Vini වෙනුවෙන් සිය සහය පළ කිරීම සංකේතවත් කරමිනුයි.

එමෙන්ම කණ්ඩායම් දෙකේ ම නායකයින් විසින් ජාතිවාදයට එරෙහි පණිවිඩය සහිත අත් පටි පැලඳීමට ද පියවර ගෙන තිබුණා.

තරගය ආරම්භ වෙමින් ගෙවී යන 20 වැනි මිනිත්තුවේ දී ප්‍රේක්ෂකාගාරය Viniciusගේ නම මහත් ශබ්දයකින් යුතු ව ගායනා කළේ ඔහුට සහය දැක්වීමක් ලෙසයි.

එමෙන්ම ක්‍රීඩාංගණය තුල Viniciusට සහය පළ කරමින් විශාල බැනරයක් ද එල්ලා තිබුණා. මේ අතර Vinicius ද මෙම තරගය නැරඹීමට පැමිණ තිබූ අතර තරගයෙන් පසුව ඔහු තමන් වෙනුවෙන් සහය පළ කළ සියල්ලන් වෙනුවෙන් ම ස්තුතිවන්ත වෙමින් instagramහි සටහනක් තැබුවා.

 

View this post on Instagram

 

A post shared by Vinicius Jr. ⚡️🇧🇷 (@vinijr)

මේ අතර ඊයේ පැවැත්වුණු තරගයෙන් Rayo Vallecano කණ්ඩායමට එරෙහිව ගෝල 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට Real Madrid කණ්ඩායම සමත් වූ අතර මෙහි දී තරගයේ 89 වැනි මිනිත්තුව තෙක් ගෝල 1-1ක් ලෙස පැවති තරගය ගෝල 2-1ක් මට්ටමට ගෙන ඒමට Viniගේ බ්‍රසීල ජාතික කණ්ඩායමේ සගයකු ද වන Rodrygo විසින් සමත් වූ අතර තරගයෙන් අනතුරුව ඔහු පවසා සිටියේ එම ගෝලය Vini වෙනුවෙන් වෙන් කරන බවයි.

“මම මේ ගෝලය මගේ සහෝදරයා වන Vini වෙනුවෙන් වෙන් කරනවා. අපි හැමදා ම එකට හිටියේ. මොකද අපි දෙන්නා ම ඉතා තරුණ අවදියේ දී ම මෙහාට ආවේ එකට. මේ ක්‍රීඩා සමාජයට එකතු වෙලා, මේ විශිෂ්ටත්වය සමඟ, කණ්ඩායම සමඟ ජයග්‍රහණ ලැබුවා. දැන් අපට කණගාටුදායක විදිහට මේ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා.

මමත් කළු නිසා මම මාවත් මේකට එකතු කර ගන්නවා.

මට මගේ උපරිමය ඔහු වෙනුවෙන් කළ යුතු වුනා. මම ඔහු වෙනුවෙන් හැම විටම ඉන්න බව ඔහුට දන්වන්න අවශ්‍ය වුනා. ඔහු එය දන්නවා. ජාතිවාදයට එරෙහිව අපි දිගටම සටන් කරනවා.”

එමෙන් ම මීට පෙර Barcelona කණ්ඩායමට ක්‍රීඩා කරන Viniciusගේ බ්‍රසීල කණ්ඩායම් සඟයකු වන Raphinha විසින් ද Vini වෙනුවෙන් සිය සහය පළ කර තිබුණා.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

BBC සහ AL Jazeera ඇසුරෙනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<