බ්‍රසීල නැටුම් දිරවන්නේ නැති අයත් ඉන්නවා!

FIFA World Cup 2022

1213

බ්‍රසීල පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක ගෝලයක් වාර්තා කිරීමෙන් පසු ක්‍රීඩකයින් එක්ව නර්තනයේ යෙදීම බොහෝම සුලබ දසුනක්.

බොහෝ දෙනා එයට ඉතා ප්‍රිය කරන අතරේම, තවත් සුළුතරයක් අතින් එය විවේචනයටත් බඳුන් වෙනවා.

අඟහරුවාදා (06) උදෑසන බ්‍රසීලය සහ දකුණු කොරියාව අතර පැවැත්වුණු තරගයේ දී බ්‍රසීලය ගෝල 4-1ක් ලෙස පහසුවෙන් තරගය ජය ගනිමින් පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

එම තරගයේ දී  බ්‍රසීලය විසින් වාර්තා කළ ගෝල හතරේ දී ම එකිනෙකට වෙනස් නර්තනයන් හතරක් ඔවුන් විසින් ඉදිරිපත් කළ අතර, විටෙක කණ්ඩායම් කළමනාකරු Tite පවා ඒවාට දායක වුනා.

නමුත් හිටපු අයර්ලන්ත පාපන්දු ක්‍රීඩක Roy Keaneගේ අදහස නම් එවැනි නැටුම් ක්‍රීඩාවට අගෞරවයක් බවයි. ඔහු ඒ බව ITV රූපවාහිනී නාලිකාව සමඟ බ්‍රසීල – දකුණු කොරියා තරගය ආවරණය කරමින් සිටි මොහොතක පැවසුවා.

මම මේ දකින දේ විශ්වාස කරන්නත් බැහැ, බ්‍රසීලය ඇත්තටම විශිෂ්ටයි. Viniciusගේ ගෝලය තරගයට ඉතාම හොඳ ආරම්භයක් ලබා දුන්නා. ඒත් මම කවදාවත් මේ තරම් නැටුම් නම් දැකලා නැහැ. මම මොකක්ද මේ බලන්නේ කියලා මට හිතා ගන්න බැහැ.

 මම මේකට නම් කැමති නැහැ, මිනිස්සු කියා වී ඒක ඔවුන්ගේ සංස්කෘතිය කියලා. මම නම් හිතන්නේ ඒක විරුද්ධ පිළට කරන අගෞරවයක් කියලයි.

ඔවුන් ගෝල හතරක් ලබා ගත්තා, ඒ හැම එකකට ම නැටුවා!

පළවෙනි වතාව නම් මට ගැටලුවක් නෙවෙයි, නමුත් ඊළඟ එක සහ පස්සේ කළමනාකරුත් සම්බන්ධ වුනා. මම ඒක ගැන නම් සතුටු වෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක් කියලා මට නම් හිතෙන්නේ නැහැ.”

Roy Keane එසේ පවසද්දී ඔහුට සහය වෙමින් තවත් හිටපු පාපන්දු ක්‍රීඩකයකු වන Graeme Souness ද පවසා සිටියේ එය අවුල් සහගත ක්‍රියාවක් බවයි.

නමුත් මෙම අදහස් විකාර ඒවා බව පවසමින් හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Craig Foster විසින් එම විවේචනවලට විරුද්ධව සිය අදහස් දක්වා තිබුණා.

ස්වර්ගයට ස්තුතියි බ්‍රසීලයට පාපන්දු දුන්නාට. ඔවුන් ක්‍රීඩා කරන විදිහ පාපන්දු ක්‍රීඩාවේ දුර්ලභ, සුන්දර දසුනක්. ඔවුන් තමයි කාලයෙන් කාලයට දේවල් නිර්මාණය කළේ ඒ වගේම ඒවා නැවත නැවතත් බලන්න පුළුවන්. ඒ වගේම ඔබ ඒවා නැරඹිය යුතුයි.

මම සමාජ මාධ්‍යවල දකිනවා සමහරු මේ නැටුම් වලට කැමති නැහැ, ඒක විකාර අදහසක්.

මේ තමයි බ්‍රසීලය.”

නමුත් බ්‍රසීලයට නම් මෙම විවේචන ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි, සමහර තැන්වල දී ඔවුන්ගේ මේ නර්තන වින්‍යාසවලට ජාතිවාදී ගැටලු පවා මතු වුනා.

පසුගිය සැප්තැම්බරයේ දී බ්‍රසීල ක්‍රීඩක Vinicius Jnr අමතමින් ස්පාඤ්ඤ පාපන්දු නියෝජිතයන්ගේ සංගමයේ සභාපති Pedro Bravo පවසා සිටියේ, “වඳුරෙකු මෙන් සෙල්ලම් කිරීම නවත්වන”, ලෙසයි. එම ප්‍රකාශයට විරුද්ධව ඔහුගේ ජාතික කණ්ඩායම් සගයන් පෙනී සිටි අතර Neymar ඒ අතරින් කැපී පෙනුණා.

Pedro Bravo එම ප්‍රකාශය පිළිබඳ පසුව සමාව අයැද සිටියා වුනත්, එය දරුණු වර්ගවාදී ප්‍රකාශයක් ලෙස වඩාත් කැපී පෙනුණා. ඊට අමතරව මෙම Real Madrid සුපිරි තරුව ඉලක්ක කර ගෙන බොහෝ අවස්ථාවල දී ප්‍රතිවාදී කණ්ඩායම්වල ප්‍රේක්ෂකයින් විසින් වර්ගවාදී ප්‍රහාර එල්ල කරනවා.

පාපන්දු කියන්නේ විනෝදයක්, එය නර්තනයක්. ඒක ඇත්තම සැණකෙළියක්. ජාතිවාදි ප්‍රහාර එල්ල වුනත් අපි ඒවා අපේ සිනහවට බාධාවක් කර ගන්නේ නැහැ. අපි ඉදිරියටත් ජාතිවාදයට විරුද්ධව මේ විදිහට ම සටන් කරනවා. සතුටින් සිටීමට අපිට ඇති අයිතිය වෙනුවෙන් සටන් කරනවා.”

මේ වන විට රෝහල් ගත වී සිටින බ්‍රසීල පාපන්දු තරුව Pele එම අවස්ථාවේ දී twitter ප්‍රකාශයක් නිකුත් කරමින් එලෙස සඳහන් කළා.

දකුණු කොරියාව සමඟ තරගයේ දී තරගාවලියේ තවත් විශිෂ්ට ගෝලයක් රැස් කළ Richarlison සමඟ කණ්ඩායම් කළමනාකරු වන Tite පවා නර්තනයේ යෙදෙන අයුරු කැමරා කාචවල සටහන් වුනා.

එහි දී Tite කණ්ඩායම් ක්‍රීඩකයින් සමඟඅන් ඉතා Richarlisonටම ආවේණික Pombo නර්තනයේ (Pombo dance නමින් බ්‍රසීලයේ ප්‍රසිද්ධ වූ ගීතයක් අනුසාරයෙන් නිර්මාණය වූ නැටුමක්) යෙදෙන අයුරු කැමරා කාචවල සටහන් වුනා.

ඔවුන් ඉතාම තරුණයි, ඔවුන්ගේ භාෂාව නර්තනයයි. ඔවුන් විහිළු කරනවා, සිනහාසෙනවා. අපි අපේ ප්‍රතිවාදීන්ට අගෞරව කරනවා නෙවෙයි. ඒක එහෙම දෙයක් නෙවෙයි. අපිට ඒක හංග ගෙන ඉන්න බැරි කමයි තියෙන්නේ. අපි උත්සහ කළා. නමුත් අපිට ඒක කරන්න බැරි වුනා.”

තම කණ්ඩායමේ නැටුම් ගැන Tite විසින් එසේ ප්‍රකාශ කළා.

මේ අතර Tite විසින් තරගාවලියේ මුල් දිනවල දීත් කණ්ඩායමේ නර්තනයන් ගැන ප්‍රකාශයක් නිකුත් කළා.

එය අපේ සංස්කෘතියට ගරු කිරීමක්, අපි කවුද කියන දේට ගරු කිරීමක්. එය සතුටක් සහ විනෝදයක්.

ඔව් අපි මේ මොහොතේ වගකීම් සහගත විය යුතුයි. නමුත් අපිට විනෝද වෙන්න පුළුවන් අවස්ථා නැතුවම නෙවෙයි. හැම කෙනාටම තමන්ගේ විදිහක් තියෙනවා, නර්තනය තමයි අපේ විදිහ.”

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Fox Sports ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<