ශ්‍රී ලංකාව දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයට

Netball World Cup 2023

3034

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන 2023 දැල්පන්දු ලෝක කුසලානයේ 16 වැනි ස්ථානයෙන් (අවසන් ස්ථානය) සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (04) සිදු වුනේ සිංගප්පූරුව හමුවේ ලද ලකුණු 49-46ක තියුණු පරාජයත් සමඟයි.

තරගාවලියේ 15 වැනි ස්ථානය තේරීම වෙනුවෙන් පැවැත්වුණු මෙම තරගය ගිය වසරේ පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතා අවසන් තරගය සිහිපත් කරවන අවස්ථාවක් වුනා. එවර එම තරගය ජය ගත් ශ්‍රී ලංකාව ආසියානු ශූරියන් බවට පත් වුනත්, මෙවර එවැනි දස්කමක් දවමින් ලෝක මට්ටමේ දී සිංගප්පූරුව අබිබවා යෑමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් මෙම ජයග්‍රහණය බන්දේසියක තබා සිංගප්පූරුව වෙත පුද නොකළ බව නම් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක්.

මෙම තරගයේ පළමු කාර්තුව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයට නතු වූ අතර එහි දී ඔවුන් විසින් ලකුණු 15ක් ලබා ගනිද්දී, සිංගප්පූරුවෙන් වාර්තා වී තිබුණේ ලකුණු 8ක් පමණයි.

නමුත් තරගයේ දෙවැනි කාර්තුවේ සිංගප්පූරුව විසින් නැවතත් තරගයට අවතීර්ණ වන බවක් පෙනෙන්නට තිබුණා. ඒ අනුව තෙවැනි කාර්තුව නිමා වන විට සිංගප්පූරුව තවත් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 11ක් පමණයි. කෙසේ වෙතත් පළමු කාර්තුවේ ලද වාසිය නිසා තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 26-20ක් ලෙස ශ්‍රී ලංකාව තරගයේ ඉදිරියෙන් පසු වුනා.

නමුත් තරගයේ තෙවැනි කාර්තුව නම් සම්පූර්ණයෙන්ම සිංගප්පූරුව දෙසට යොමු වූ එකක් ලෙසයි අවසන් වුනේ. මෙහි දී සිංගප්පූරුව විසින් ලකුණු 16ක් ලබා ගනිද්දී, ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනේ ලකුණු 10ක් පමණයි.

එමෙන්ම මෙම කාර්තුව තුළ සිංගප්පූරුව විසින් පෙන්වූ දක්ෂතාවල අවසන් ප්‍රතිඵලය වුනේ මෙතෙක් වෙලා තරගයේ ඉදිරියෙන් පසු වූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව යන කණ්ඩායම් දෙක ම ලකුණු 36-36ක් ලෙස සම මට්ටමකට පැමිණීමයි.

ඒ අනුව ආරම්භ වූ තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුව තරගයේ තීරණාත්මක ම කාර්තුව වූ අතර එහි දී අවාසනාවන්ත ලෙස සිංගප්පූරු ක්‍රීඩිකාවන් ඉදිරියට පැමිණීමට සමත් වුනා.

මෙහි දී දෙරට අතර කරට කර තරගයක් අවසාන මොහොත වන තෙක් පැවැත්වුනත්, සිංගප්පූරුව විසින් එම කාර්තුවේ මුල් මිනිත්තු කිහිපය තුළ ලබා ගත් ඉක්මන් ලකුණු කිහිපය නිසා කාර්තුව නිමා වන විට ලකුණු 13-10ක් ලෙස සිංගප්පූරුව ඉදිරියට පැමිණීමට සමත් වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු පරාජයක් උරුම කර දෙමිනුයි.

අවසන් ලකුණු තත්වය සිංගප්පූරුව 49 – 46 ශ්‍රී ලංකාව

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තිශලා අල්ගම ලකුණු 43ක් වාර්තා කරද්දී, සේමිනී අල්විස් ලකුණු 2ක් සහ දුලංගි වන්නිතිලක එක් ලකුණක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට (16) පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනත්, සමස්තයක් ලෙස ඉතා තරගකාරී ලෙස මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උත්සාහ කළා.

මෙහි දී ලෝක කුසලාන ඉතිහාසයේ වසර 20කට පසුව සිංගප්පූරුව හැරුණු කොට වෙනත් කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූවා සේ ම (බාර්බඩෝස් කණ්ඩායම පරාජය කරමින්) වෙල්සය වැනි අතිශය ප්‍රබල කණ්ඩායම්වලට පවා තියුණු අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

මීට අමතරව අද දිනයේ පටන් එළඹෙන ඉරිදා (06) තෙක් මෙවර තරගාවලියට සහභාගී වූ අනෙක් කණ්ඩායම් ද තරගාවලියේ සිය ස්ථාන වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.

මෙතෙක් කල් දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව ඔබව දැනුවත් කළ සේ ම තරගාවලියේ ඉදිරි තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<