ඇමරිකාවේ දී ධනුෂ්කගෙන් ලොකු පිම්මක්

Max Velocity Athletics High Performance තරගාවලිය 2022

258

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩක ධනුෂ්ක සඳරුවන් ඊයේ (11) පැවති Max Velocity Athletics High Performance Meet තරගාවලියේ දී මීටර් 8.03ක (තත්පරයට මීටර් 1.8) පිම්මකින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

මෙම පිම්ම සඳරුවන්ගේ පුද්ගලික හොඳම පිම්ම ද වනවා. ඔහු 2018 වසරේ දී මීටර් 7.99ක දක්ෂතාවයක් දක්වමින් ඔහුගේ හොඳම පිම්ම වාර්තා කර තිබුණා. කෙසේ වෙතත්, ඔහු මීට පෙර තත්පරයට මීටර් +3.4ක සුළං වේගයක් සමඟ මීටර් 8.10ක දක්ෂතාවයක් දක්වා ඇති නමුත් සුළඟේ වේගය නිසා එය නීත්‍යානුකූල වන්නේ නැහැ.

සඳරුවන් මෙම තරග වාරයේ දී හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන අතර, ඔහු මේ දක්වා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්ව සිටිනවා. මෙම දස්කම් සමඟින් ඔහු Road to Oregon ශ්‍රේණිගත කිරීම් හි හොඳම ක්‍රීඩකයන් 50 දෙනා අතරට පැමිණීමට ද සමත්ව සිටීම විශේෂත්වයක්.

පසුගිය දා දැක්වූ දක්ෂතාවය සමඟින් සඳරුවන් ඔහුගේ සාමාන්‍ය කාර්ය සාධන ලකුණු 1,151 දක්වා ඉහළ නංවා ගෙන ඇති අතර ලබන සතියේ දී ශ්‍රේණිගත කිරීම යාවත්කාලීන කිරීමෙන් පසු ඔහු ශ්‍රේණිගත කිරීම්වල 40 වැනි ස්ථානයට පත්වීමට නියමිත‍යි.

සඳරුවන් තරගය ජය ගැනීමට සමත් වූ නමුත් මෙම තරගාවලිය ‘F’ ශ්‍රේණියේ තරගාවලියක් වූ බැවින් ඔහුට පළමු ස්ථානය සඳහා ලැබෙන්නේ ලකුණු 15ක් පමණයි.

‘Road to Oregon’ ශ්‍රේණිගත කිරීම් යනු ජූලි 15 සිට 24 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සුදුස්සන් තොරාගැනීම සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පවත්වා ගෙන යනු ලබන ලැයිස්තුවකි.

මෙවර තරග වාරයේ දී සඳරුවන් දැක්වූ දක්තා
දිනය තරගාවලිය කාණ්ඩය ලබා ගත් ස්ථානය ප්‍රතිඵලය සු ප්‍රතිඵලය ලබා ගත් ස්ථානය දක්ශතාවය
16-අප්‍රේල්-22 USATF Golden Games, Hilmer Lodge Stadium, Walnut, CA A 4 7.90  0.9 1116 100 1216
11-ජූනි-22 2022 Max Velocity Athletics High Performance Meet, Chula Vista, CA F 1 8.03 1.80 1144 15 1159
26-මාර්තු-22 Texas Relays, Mike A. Myers Stadium, Austin, TX F 3 8.10 3.40 1140 5 1145
5-මාර්තු-22 Beach Opener, Jack Rose Track, Long Beach, CA F 1 7.87  0.1 1109 15 1124
29-අප්‍රේල්-22 Steve Scott Invitational, Anteater Stadium, Irvine, CA F 1 7.82  0.0 1099 15 1114
සාමාන්‍ය දක්තා ලකුණු 1151

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<