ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයට IPL සිදු කළ බලපෑම Ashwin පැහැදිලි කරයි

ICC Cricket World Cup 2023

9640

2023 එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියානු නායක Pat Cummins විසින් කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දු යැවීමට ගත් තීරණය බොහෝ දෙනෙකු මවිතයට පත් කළා.

නමුත් එම තීරණය කෙතරම් බුද්ධිමත් එකක් ද යන්න බහුතරයකට වැටහුණේ ඉන්දීය පිතිකරුවන් ඉතා අපහසුවෙන් පන්දුවට පහර දුන් අහ්මදාබාද් තණතීරුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පහසුවෙන් ලකුණු හඹා යන අයුරු දකින විටයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාව නව ලෝක ශූරයින් වීමට බලපෑ ප්‍රධානතම හේතුවක් ලෙස Cummins විසින් කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු ගත් තීරණය සැලකිය හැකි.

තම Youtube නාලිකාව ඔස්සේ ඉන්දීය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin ද මෙම තීරණය පිළිබඳ පසුගිය දිනෙක සිය අදහස් පළ කළා. ඔහු මෙහි දී සඳහන් කළේ ඕස්ට්‍රේලියාව විසින් කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසු ගත් තීරණය තමන්ව පුදුමයට පත් කෙරූ බවයි.

” ඉනිම් අතර මැද මම කඩුල්ලේ පළුදු ඇති වේවිද කියලා නිරීක්ෂණය කරමින් සිටින අතරේ තේරීම් කමිටු අධ්‍යක්ෂක (ඕස්ට්‍රේලියාවේ) George Bailey මුණ ගැසුණා.

මම ඇහුවා, ‘හැමදාම කාසියේ වාසිය දිනලා මුලින් පන්දුවට පහර දෙනවා වගේ අද නොකලේ ඇයි’ කියලා.

ඒකට ඔහු උත්තර දුන්නා, ‘ අපි දැන් කාලයක් තිස්සේ IPL සහ ද්විපාර්ශ්වික තරගාවලි ක්‍රීඩා කරනවා. අපේ අත්දැකීම්වලට අනුව රතු පස පළුදු වෙනවා, නමුත් කළු පසේ විදුලි ආලෝකය යට හොඳින් පිතිකරණයේ යෙදෙන්න පුළුවන්.

දකුණු අප්‍රිකාව සමඟ ලක්නව් හි පැවැත්වුණු තරගයේ දී කඩුල්ලේ තිබුණේ රතු පසක්, එහි දී කාලය ගත වෙද්දී පන්දුව ගොඩක් දඟකැවුණා. රතු පසේ දී පින්න ඒ තරම් ලොකු බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම කළු පස් තියෙන තණතීරු දහවල් කාලයේ දී හොඳින් දඟ කැවෙනවා, නමුත් රාත්‍රියේ දී කඩුල්ල ස්ථාවර වෙලා කොන්ක්‍රීට් වලින් හදපු එකක් වගේ වෙනවා.’

ඒක අහලා මම පුදුම වුනා, බලන්න IPL සහ ද්විපාර්ශවික තරගාවලි නිසා මොකද වෙන්නේ කියලා. ඉන්දියාව ලෝක ක්‍රිකට්වල කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වීම නිසා ඔවුන්ට ඉතා හොඳින් තණතීරු කියවා ගන්න පුළුවන් වෙලා.”

ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති George Bailey විසින් තමාට ලබා දුන් ඉඟිය පිළිබඳ Ashwin විසින් ඒ අයුරින් විස්තර කරනවා. IPL මඟින් ඉන්දීය ක්‍රිකට් විශේෂ වාසි ලබනවා මෙන්ම වෙනත් රටවල් ද වාසි ලබා ගන්නා බව මෙයින් පැහැදිලි වනවා.

එමෙන්ම මෙවර ලෝක කුසලානය අතරතුර බොහෝ විදෙස් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ඉන්දියාව තණතීරු මඟින් වාසි ලබා ගන්නා බවට සැක පළ කළා. නමුත් Ashwin විසින් මෙයට ද මෙසේ පිළිතුරු සපයනවා.

” වෙනත් රටවල මාධ්‍යවේදීන් පවසනවා තණතීරු මාරු කරලා කියලා, ඒක නම් විහිළුවක්.

ඉන්දියාව කියන්නේ විශේෂ රටක්. රටේ වෙනස් පැතිවල තියෙන්නේ එකිනෙකට වෙනස් විදිහේ පස් වර්ග. කළු පස්, මද කළු පස්, මිශ්‍ර කළු පස්, මැටි සහ රතු පස්, තනි රතු පස්, වැලි මිශ්‍ර රතු පස් සහ තව ගොඩක් වර්ග. අහ්මදාබාද් තණතීරුවේ ම වෙනස් පස් වර්ග 3-4ක් තියෙනවා. ඉතින් George Bailey කියපු දේ මාව පුදුමයට පත් කළා.”

Ashwin ඕස්ට්‍රේලියාවේ තීරණය පිළිබඳ එසේ සඳහන් කළා. එමෙන්ම මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු නායක Pat Cummins විසින් කඩුල්ලට ගැළපෙන අයුරින් Cutters පන්දු වැඩි වශයෙන් භාවිත කරමින් පන්දු යැවූ ආකාරය ද Ashwin විසින් මෙහි දී විශේෂයෙන්ම අගය කළා.

දිනෙන් දින උණුසුම් වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Wisden ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<