ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපයක් අබුඩාබි T10 තරගාවලියෙන් ඉවතට

Abu Dhabi T10 League 2023

6948

මෙම (නොවැම්බර්) මස පැවැත්වීමට නියමිතව තිබෙන අබුඩාබි T10 තරගාවලිය සඳහා සහභාගී වීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. 

එලෙස තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ ක්‍රීඩකයින් වන්නේ ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණයි.  

2021 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබූ වනිඳු මෙවර තරගාවලියේ Northern Warriors කණ්ඩායමේ නායකයා ලෙස තරගාවලියට තේරී පත්ව තිබූ නමුත් පසුගිය දා සිදු කළ සැත්කම නිසා ඔහුට මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.  

නිමා වූ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක මෙවර T10 තරගාවලියේ දී  Team Abu Dhabi කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව තිබූ නමුත් ඔහු ද මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.  

තරගාවලියේ Bangla Tigers කණ්ඩායම නියෝජනය කරමින් මතීෂ පතිරණ තරගාවලියට සහභාගී වීමට සැලසුම් කර තිබූ අතර ඔහු නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වීම නිසා තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුනා. 

එක්දින ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමඟ පැවති තරගයෙන් පසු ආබාධයට ලක් වූ ලහිරු කුමාර New York Strikers කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වීමට සූදානමින් සිටි නමුත් ඔහු ද ආබාධ තත්වය නිසා මෙම තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. 

ආබාධ නිසා දිගින් දිගටම ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට සිදු වූ දුෂ්මන්ත චමීර ද මෙම තරගාවලිය සඳහා සහභාගී නොවන අතර එම ක්‍රීඩකයින් පසුගිය කාලසීමාව තුළ දිගින් දිගටම ආබාධයන්ට ලක් වූ නිසා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයට මෙම තීරණ ඉතා වැදගත්. 

මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත්කරණයේ දී (Player Draft) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 14 දෙනෙකු කණ්ඩායම් වලට තෝරා ගත් අතර මෙම ක්‍රීඩකයින්ට අමතරව අනෙක් ක්‍රීඩකයින් තරගාවලිය සඳහා සහභාගී වන බව වාර්තා වෙනවා.  

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<