තවත් ශ්‍රී ලාංකිකයෙකුට ආසියානු කුසලානය මඟ හැරේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

7120

එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් තෝරා ගත් නිල නොලත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඩිල්ෂාන් මධුශංක හට තරගාවලිය අහිමි වී යන බව වාර්තා වනවා. 

22 හැවිරිදි වියේ පසු වන වමත් වේගපන්දු යවන්නෙකු වන ඩිල්ෂාන් හට ශරීරයේ පැති ප්‍රදේශයේ (ඇලපතේ) ඇති වූ ආබාධයක් නිසාවෙන් තරගාවලිය අහිමි වී යන බව සඳහන්. ඒ අනුව ඔහු සංචිතයෙන් ඉවත් කර පුනරුත්තාපන කටයුතු සඳහා යොමු කර තිබෙන අතර ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන්නේ නම් එළඹෙන ලෝක කුසලානය සඳහා සහභාගී වන සංචිතයට ඇතුළත් කර ගැනීමට නියමිත බව සඳහන්. 

Daily Mirror වාර්තා කර තිබුණේ ක්‍රීඩකයින් දෙදෙනෙකු එනම් නුවන් තුෂාර සහ බිනුර ප්‍රනාන්දු හෝ කසුන් රාජිත සංචිතය සඳහා ඇතුළත් කර ගනු ඇති බවයි. Daily Mirror විසින් වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අසිත ප්‍රනාන්දු සහ දුෂාන් හේමන්ත (වනිඳු හසරංග වෙනුවට) ද සංචිතය සඳහා ඇතුළත් බවයි.  

ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් නිල නොවන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයින් අතරින් වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයින්ට ද ආසියානු කුසලානය අහිමි වන බව වාර්තා වන්නේ පසුගිය දා නිමා වූ 2023 LPL තරගාවලියේ දී ඇති වූ ආබාධ තත්වයන් කිහිපයක් නිසාවෙනුයි 

කෙසේ නමුත්, පසුගිය සතියේ දී කුසල් ජනිත් පෙරේරා හට කොරෝනා වයිරසය ආසාදනය වූ බව වාර්තා වූ නමුත් ඔහු ඉදිරියේ දී ශ්‍රී ලංකා සංචිතය සමඟ එකතු වනු ඇති බව වාර්තා වනවා. 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

කෙළිමඬල සහ Daily Mirror ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<