හැදී වැඩුණු දේශයේ හිඳ, උපන් බිමට උපහාරය!

FIFA World Cup 2022

527
Getty Images

පසුගිය බ්‍රහස්පතින්දා (24) පාපන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරගයක් ලෙස පැවති ස්විස්ටර්ලන්තය සහ කැමරූන් කණ්ඩායම් අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තය සමත් වුනා. 

එම තරගයේ වාර්තා වුණු එකම ගෝලය ස්විස්ටර්ලන්තය වෙනුවෙන් ලබා ගැනීමට සමත් වුනේ Breel Embolo වන අතර, ඔහු එම ගෝලය ලබා ගැනීමෙන් අනතුරුව කිසිදු ආකාරයක සැමරීමක් සිදු කළේ නැහැ. 

ඔහු එසේ සැමරීමකින් වැළකී සිටියේ එම ගෝලය ඔහුට වාර්තා කිරීමට සිදු වුනේ සිය උපන් දේශයට එරෙහිව වීම නිසායි. 

25 හැවිරිදි Breel උපත ලබන්නේ කැමරූන් දේශයේ අග නගරය වන Yaounde හීදී වන අතර, පසුව ඔහු කුඩා වියේ දී ම සිය පවුල සමග ස්විස්ටර්ලන්තය කරා එනවා. 

මෙවර ලෝක කුසලානයේ G කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ස්විස්ටර්ලන්තය සහ කැමරූන් අතර තරගයේ 48 වැනි මිනිත්තුවේ දී Breel Embolo විසින් තරගයේ ප්‍රථම සහ එකම ගෝලය වාර්තා කිරීමට සමත් වුනා. 

ගෝලය ලබා ගැනීමෙන් පසුව ඔහු සිය දෙ අත් සොළවමින් තමන් කිසිදු සැමරුමක් නොකරන බව සංඥා මගින් පෙන්වා සිටියා. 

තමන් ලබා ගත් ගෝලය පිළිබඳ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Breel ප්‍රකාශ කළේ එය වෙන කිසිම අවස්ථාවකට වඩා විශේෂ එකක් බවයි. 

“ඒක ගොඩක් විශේෂයි. ඒක මගේ උපන් බිම. මගේ අම්මා, තාත්තා සහ පවුලේ අය එහේ ඉඳලයි ආවේ. ඒක මට සහ මගේ පවුලේ අයට විශේෂ තරගයක් වුනා. 

ඔවුන්ට (කැමරූන් කණ්ඩායමට) එරෙහිව ක්‍රීඩා කරන්න ලැබීම ඉතාමත් සතුටු දායක වගේම ආඩම්බර හිතෙන අවස්ථාවක්. ඒ වගේම මේක ලෝක කුසලාන තරගයක්. ඒක කොහොමත් විශේෂ අවස්ථාවක්.” 

Breel සිය හැඟීම් විස්තර කරමින් සිටිය දී මාධ්‍යවේදීන් අමතර ප්‍රශ්නයක් නගමින් ඔහු කැමරූන් දේශයට සහය පළ කරනවා ද යනුවෙන් ඇසුවා. 

“ඔව් ඇත්තෙන්ම, නමුත් ස්විස්ටර්ලන්තයට පස්සේ, මේ තරගයෙන් පස්සේ.” 

Yaounde හිදී උපත ලැබූ Breel වයස අවුරුදු පහේ දී සිය මව සමග ප්‍රංශයට සංක්‍රමණය වී තිබෙනවා, පසුව නැවත ඔවුන් ස්විස්ටර්ලන්තයේ දී සිය පවුලේ සාමාජිකයින් හා එකතු වී තිබෙනවා. 

ඔහු 2018 දී රුසියාවේ පැවති ලෝක කුසලානයට ද සහභාගී වූ නමුත්, ගෝල රැස් කිරීමට අසමත් වුනා. ඒ අනූව තම උපන් බිමට එරෙහිව ලබා ගත් මෙම ගෝලය ඔහුගේ ප්‍රථම ලෝක කුසලාන ගෝලය ලෙස සටහන් වනු ඇත. 

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්,රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

The Sun ඇසුරිනි. 

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<