KL Rahulට BCCIයෙන් විශේෂ සැලකිලි?

Border - Gavaskar Trophy 2023

2812

හිටපු ඉන්දීය වේගපන්දු යවන්නෙකු වන Venkatesh Prasad විසින් ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී BCCI විසින් සමහර ක්‍රීඩකයින් සඳහා විශේෂ සැලකිල්ලක් දක්වන බවට චෝදනා කරනවා.

මේ දිනවල ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතර ඊයේ (12) තරග හතරකින් යුත් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙම තරගය ඉනිමකින් සහ ලකුණු 132කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ ඉන්දියාව මේ වන විට තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.

කෙසේ වෙතත් තරගය ජයග්‍රහණය කිරීමේ සතුට පසකට දැමූ හිටපු වේගපන්දු යවන්නා විසින් ඉන්දීය කණ්ඩායම, BCCI සහ තේරීම් කමිටුව ඉලක්ක කර ගනිමින් twitter හරහා දැඩි විවේචනයක් සිදු කර ඇත්තේ නොකඩවා අසාර්ථක වන ක්‍රීඩකයින්ට නොකඩවා අවස්ථා ලබා දෙමින් ඔවුන්ට විශේෂ සැලකිලි ලබා දෙන බවට චෝදනා කරමින්.

මෙහි දී Prasadගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ඊයේ තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ KL Rahul.

වසර අටක් පුරාවට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළත් තවමත් ඉතාම සාමාන්‍ය මට්ටමේ දස්කම් පමණක් පෙන්වා ඇති Rahul වෙනුවට Shubman Gill හෝ Sarfaraz Khan වැන්නෙකුට අවස්ථාව නොලැබෙන්නේ ඇයි ද යන්න ඔහු සිය twitter ප්‍රකාශ හරහා ප්‍රශ්න කරනවා.

“Rahulගේ දක්ෂතාවට මම සෑහෙන්න ගරු කරනවා, නමුත් කණගාටුදායක ලෙස ඔහුගේ දක්ෂතා පවතින්නේ ඉතාම අඩු මට්ටමක. වසර අටක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරලා ටෙස්ට් තරග 46ක දී ලකුණු 34ක සාමාන්‍යයක් සහිතව ඉන්නවා කියන්නේ ඉතාම සාමාන්‍ය දක්ෂතාවක්. බොහෝ දක්ෂතා ඇති අය එළියේ බලා ගෙන ඉඳිද්දී මේ තරම් අවස්ථා ලැබීම ගැන (Rahul හට) හිතන්නවත් බැහැ. Shubman Gill විශිෂ්ට තත්වයක පසුවෙනවා, Sarfaraz දිගටම පළමු පෙළ තරගවල ශතක රැස් කරනවා. Rahulට වඩා අවස්ථාවක් ලැබිය යුතු සෑහෙන්න දෙනෙක් ඉන්නවා. සමහරු හරි වාසනාවන්තයි, ඔවුන් සාර්ථක වෙන තුරු ම නිමක් නැතුව අවස්ථා ලැබෙනවා. නමුත් සමහරුන්ට එහෙම නැහැ.”

https://twitter.com/venkateshprasad/status/1624290649595072512?t=aApR72dUVvxUBvKzxv4pDw&s=19

ඊයේ නිමාව දුටු තරගයේ දී Rahul ක්‍රීඩා කළ එකම ඉනිමේ දී පන්දු 71කට මුහුණ දෙමින් ඔහුට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 20ක් පමණයි.

එමෙන්ම මේ වන විට ඉන්දීය කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන්නේ ද Rahul විසින් වන අතර ක්‍රිකට් සම්බන්ධව ඉතාම හොඳ අවබෝධයක් සහිතව (Cricketing Brain) ක්‍රීඩා කරන Ravichandran Ashwin හෝ එසේත් නැති නම් Cheteshwar Pujara හෝ Ravindra Jadeja වැනි අයකුට එම වගකීම ලබා නොදීම පිළිබඳ ව ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය ද Prasadගේ විවේචනයට බඳුන් වී තිබෙනවා.

“Rahulට උපනායකත්වය ලබා දීමෙන් ප්‍රශ්නය තවත් නරක අතට හැරුණා. Ashwinට හොඳ ක්‍රිකට් මොළයක් තියෙනවා, ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය ඔහුටයි ලැබිය යුතු. ඔහු නොවේ නම් Cheteshwar Pujara හෝ Jadeja විය යුතුයි. Mayank Agrawal සහ Vihari (Hanuma) විසින් Rahulට වඩා දෙයක් කණ්ඩායම වෙනුවෙන් ලබා දීලා තියෙනවා. Rahulව කණ්ඩායමට තෝරා ගෙන තියෙන්නේ දක්ෂතා මත පදනම් වෙලා නෙවෙයි, ඔහුව තෝරා ගෙන තියෙන්නේ විශේෂ සැලකිල්ලක් මත. ඔහු නොකඩවා අසාර්ථක වෙමින් වසර 8ක් පුරාවට තමන්ගේ ශක්‍යතාව පෙන්ව ගන්න බැරුව ඉන්නවා.”

https://twitter.com/venkateshprasad/status/1624308918343323648?t=YEf9be9DnCU5vF9ejm2QAA&s=19

https://twitter.com/venkateshprasad/status/1624309807854526465?t=0Mcd4Iii0qNRGRs1fmSQrw&s=19

එමෙන්ම තවදුරටත් සිය twitter ප්‍රහාරය දියත් කළ Prasad ඉන්පසුව හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාවේ ප්‍රවීණයින් ඉලක්ක කරමින් පවසා සිටියේ, ඔවුන් මේ කිසිවක් පිළිබඳ වචනයක් හෝ නොපවසා සිටින්නේ ඔවුන්ට හිමි වී ඇති වරප්‍රසාද (IPL කොන්ත්‍රාත්තු) අහිමි වී යාවි යන බිය නිසා බවයි.

https://twitter.com/venkateshprasad/status/1624310556877541376?t=UJmMOy2GbUtRSiq-QOg-CA&s=19

කෙසේ වෙතත් ඉන්දු – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දීත් Prasadගේ මෙම විවේචනවලට බඳුන් වූ ක්‍රීඩකයින්ට අවස්ථාවක් හිමි වීමට ඉඩ ඇති බව අනුමාන කළ හැකි අතර, සංචිතයේ යම් වෙනසක් සිදු වේ නම් එය තෙවැනි ටෙස්ට් තරගයේ දී බොහෝ දුරට සිදු වනු ඇත.

Border – Gavaskar ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<